යෝෂුවා 14:8-12
යෝෂුවා 14:8-12 SCV
එහෙත් මා සමඟ ගිය මගේ සහෝදරයෝ, ජනතාවගේ හදවත්, දියවී යන්නට සැලැස්වූහ. එසේ වුව ද, මම මගේ මුළු හෘදයෙන් ම මගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අනුව ගියෙමි. එබැවින් ඒ දවසේ මෝසෙස් දිවුරා පැවසුවේ, ‘ඔබ, ඔබේ මුළු හෘදයෙන් ම මගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අනුව ගිය බැවින්, ඔබ පා පය ගසන ලද දේශය සදහට ම ඔබේ ද ඔබේ දරු පරපුරේ ද උරුමය වනු ඇත’ කියා ය. “බලන්න! පාළුකරය ඔස්සේ ඉශ්‍රායෙල්, ගමන් කරමින් සිටියදී ස්වාමින්වහන්සේ මෝසෙස්ට එසේ කී කාලයේ සිට උන්වහන්සේ පොරොන්දු වූ පරිදි හතළිස්පස් වසරක් ම ජීවත් ව සිටින්නට මට සලසා ඇති වග ඔබට පෙනේ. එබැවින් මෙන්න, මම අද අසූපස් වැනි වියේ සිටිමි. මෝසෙස් මා පිටත් කර යැවූ දවසේ මෙන්, අද තවමත් මා ශක්තිමත් ය; යුද්ධයට යෑමට සහ ඊමටත් මගේ කාය බලය අදත් එදා වගේ ම ය. එබැවින් ස්වාමින්වහන්සේ ඒ දවසේ පැවසූ මේ කඳුරට දැන් මට දෙන්න. මන්ද මහ බළකොටු පුරවරවල අනාක්වරු සිටින හැටි ඔබටත් ඒ දවසේ ඇසුණි. එහෙත් ස්වාමින්වහන්සේ මා සමඟ වන සේක් නම්, උන්වහන්සේ පැවසූ පරිදි මම ඔවුන් පන්නා දමන්නෙමි” යි පැවසී ය.

