යෝෂුවා 13

13
අත්කර ගැනීමට තිබූ දේශය
1යෝෂුවා මහලු ව, බෙහෙවින් වියපත් ව සිටියදී, ස්වාමින්වහන්සේ ඔහු අමතමින්, “ඔබ දැන් මහලුයි. දේශයේ තවත් විශාල ප්‍රමාණයක් අල්ලා ගැනීමට තියේ.
2“ඉතිරි ව ඇති බිම් පෙදෙස් මේවා ය:
“පිලිස්තිවරුන්ගේ පළාත් සියල්ල හා ගෙෂූර්වරුන්ගේ ඒවා ය; 3ඊජිප්තුවට නැගෙනහිරින් ෂීහොර් ඔයේ සිට උතුරින් එක්‍රෝන් ප්‍රදේශය දක්වා වූ කානානිවරුන්ට අයත් හැටියට ගැනෙන, පිලිස්ති අධිපතීන් පස්දෙනාගේ පළාත් වන ගාසාවරුන්ගේ, අෂ්දෝද්වරුන්ගේ, අෂ්කෙලොන්වරුන්ගේ, ගිත්තීවරුන්ගේ#13:3 ගිත්තීවරුන්ගේ එනම් ගාත්වරුන්ගේ හා එක්‍රෝන්වරුන්ගේ පළාත් හා
දකුණු දෙසින් අව්විවරුන්ට අයත් පළාත.
4කානානිවරුන්ගේ මුළු දේශය ද සීදොන්වරුන්ගේ මෙයාරාහි පටන් අෆේක් දක්වා ද අමෝරිවරුන්ගේ පළාත ද
5ගිබ්ලිවරුන්ගේ#13:5 ගිබ්ලිවරුන්ගේ එනම් ගෙබල් වැසියන් දේශය හා
හෙර්මොන් කන්ද පහළ බාල්-ගාද් පටන් ලෙබෝ-හමාත් දක්වා නැගෙනහිරට මුළු ලෙබනොනය ද වේ.
6“ලෙබනොන් පටන් මිස්රෙෆොත්-මයිම් දක්වා කඳුකර පළාත්වාසී සියල්ලන්, සැබවින් ම සීදොන්වරු සියල්ලන් මම ඉශ්‍රායෙල් ඉදිරිපිටින් පන්නා දමන්නෙමි. මා ඔබට අණ කර ඇති පරිදි, මේ දේශය ඉශ්‍රායෙල්ට උරුමයක් කොට බෙදා දෙන්නට වග බලා ගන්න. 7එබැවින් දැන් මේ දේශය, ගෝත්‍ර වංශ නවය හා මනස්සේ ගෝත්‍ර වංශ අර්ධය අතරේ ඔවුන්ගේ උරුමය හැටියට බෙදා දෙන්නැ” යි කී සේක.
යොර්දානයට නැගෙනහිර දේශය බෙදීම
8 ස්වාමින්වහන්සේගේ සේවක මෝසෙස් ඔවුන්ට දුන් පරිදි මනස්සේ ගෝත්‍ර වංශයේ අනෙක් අර්ධයට, රූබෙන්වරුන්ට හා ගාද්වරුන්ට මෝසෙස් සලසා දුන් පරිදි යොර්දානයට එපිට නැගෙනහිරින් ඔවුන්ගේ උරුමය ලැබී තිබිණි.
9එය අර්ණොන් දොරුව අද්දර පිහිටි අරෝයෙර් පටන් හා දොරුව අසබඩ පුරවරයේ පටන් මෙදෙබා මුළු කඳු තලාව ඇතුළු දීබොන් දක්වා ද 10හෙෂ්බෝන්හි රජකම් කළ අමෝරිවරුන්ගේ රජු වූ සීහොන්ගේ නගර සියල්ල ද අම්මොන්වරුන්ගේ දේශ සීමා තෙක් ද
11ගෙෂූර්වරුන්ගේ හා මාකාතිවරුන්ගේ දේශ සීමාව වන ගිලියාද් ද මුළු හෙර්මොන් කන්ද හා සලෙකා දක්වා වූ මුළු බාෂාන් ද ඊට අයත් ය. 12එය රෙෆායිවරුන්ගේ අන්තිමයකු වශයෙන් ජීවත් වූ අෂ්තාරෝත්හි හා එද්රෙයිහි රජකම් කළ බාෂාන්හි ඕග්ගේ මුළු රාජධානියයි. මෝසෙස් ඔවුන් පරදා, ඔවුන්ගේ දේශය අත්කර ගෙන තිබිණි. 13එහෙත් ඉශ්‍රායෙල්වරුන් ගෙෂූර් හා මාකාතී ජනයා පන්නා නො දැමුවෝ ය; එබැවින් ගෙෂූරිවරු හා මාකාවරු අද දක්වා ඉශ්‍රායෙල්වරුන් අතරේ වාසය කරති.
14එහෙත් ලෙවී ගෝත්‍ර වංශයට මෝසෙස් උරුමයක් දුන්නේ නැත. මන්ද ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ගින්නෙන් යාග කරන පූජා, උන්වහන්සේ ම ඔවුන්ට පවසා තිබූ පරිදි ඔවුන්ගේ උරුමය විය.
15රූබෙන් ගෝත්‍ර වංශයට ඔවුන්ගේ පෙළපත්වලට අනුව මෝසෙස් උරුමයක් දුන්නේ ය:
16ඔවුන්ගේ භූමි ප්‍රදේශය වූයේ අර්ණොන් දොරුව අද්දර පිහිටි අරෝයෙර් පටන් හා දොරුව අසබඩ පුරවරයේ පටන් හා මෙදෙබා අසල මුළු කඳු තලාව 17සමඟ හෙෂ්බෝන් සහ එහි කඳු තලාවේ සියලු නගර වන දීබොන්, බාමොත්-බාල්, බෙත්-බාල්-මෙයෝන්, 18යහස්, කෙදේමොත්, මේෆාත්, 19කිරියාතායිම්, සිබ්මා, මිටියාවතේ කඳුගැටයේ සෙරෙත්-ෂහර්, 20බෙත්-පෙයෝර්, පිස්ගා බෑවුම් සහ බෙත්-යෙෂීමොත් 21ඇතුළු කඳු තලාවේ සියලු නගර සහ හෙෂ්බෝන්හි රජකම් කළ අමෝරිවරුන්ගේ රජු වූ සීහොන්ගේ මුළු රාජ්‍යය ද වේ. සීහොන් සමඟ මිත්‍ර ඔහුගේ දේශයේ වාසය කළ වංශවත් මිදියන් අධිපතීන් වූ එවී, රෙකෙම්, සූර්, හූර් සහ රෙබා ද මෝසෙස් විසින් පරාජය කොට තිබිණි. 22යුද්ධයේදී මරන ලද්දවුන්ට අමතරව, නිමිති බලන්නා වන බෙයෝර්ගේ පුත් බාලාම් ද ඉශ්‍රායෙල්වරුන් විසින් කඩු ගා දමා තිබිණි.
23රූබෙන්වරුන්ගේ දේශ සීමාව, යොර්දානය හා එහි ගං ඉවුරු ය. මේ නගර සහ ඒවාට අයත් ගම්මාන ඔවුන්ගේ පෙළපත් අතරේ රූබෙන්වරුන්ගේ උරුමය විය.
24ගාද් ගෝත්‍රයට ඔවුන්ගේ පෙළපත්වලට අනුව මෝසෙස් උරුමයක් දුන්නේ ය:
25ඔවුන්ගේ භූමි ප්‍රදේශය වූයේ යාසේර් පළාත, ගිලියාද්හි සියලු නගර, රබ්බා ඉදිරිපිට අරෝයෙර් දක්වා අම්මොන්වරුන්ගේ රටෙන් අඩක්; 26හෙෂ්බෝන් පටන් රාමත්-මිස්පේ හා බෙටොනීම් දක්වා හා මහනයිම් පටන් දෙබීර් පළාත දක්වා; 27මිටියාවතේ වූ බෙත්-හාරාම්, බෙත්-නිම්රා, සුක්කොත් සහ සාෆෝන් සමඟ හෙෂ්බෝන්හි රජු වූ සීහොන්ගේ රාජ්‍යයේ ඉතිරි කොටස. යොර්දානය සහ යොර්දානයට එපිටින් කින්නෙරෙත් මුහුදු පහළ කෙළවර දක්වා වූ එහි ඉවුරු වේ.
28එම නගර සහ ඒවාට අයත් ගම්මාන ඔවුන්ගේ පෙළපත් අතරේ ගාද්වරුන්ට ලැබුණු උරුමය විය.
29මනස්සේ ගෝත්‍ර වංශ අර්ධයට, මෝසෙස් උරුමයක් දුන්නේ ය. එය ඔවුන්ට වෙන් කර දෙනු ලැබුවේ මනස්සේ ගෝත්‍ර අර්ධයට ඔවුන්ගේ පෙළපත්වලට අනුව ය:
30ඔවුන්ගේ භූමි ප්‍රදේශය විහිද ගියේ මහනයිම් සිට සමස්ත බාෂාන් ඔස්සේ බාෂාන්හි ඕග් රජුගේ මුළු රාජධානිය, බාෂාන්හි යායීර්ගේ වාස භූමි වන නගර හැට, 31ගිලියාද්හි අඩක්, බාෂාන්හි ඕග්ගේ රාජකීය පුරවරයන් වූ අෂ්තාරෝත් සහ එද්රෙයි වේ.
පෙළපත් අතරේ මාකීර්ගේ පුත්‍රයන්ගෙන් අඩකට, එනම් මනස්සේගේ පුත් මාකීර්ගෙන් පැවත එන්නවුන්ට මේ නගර වෙන් කර දෙන ලදී.
32යොර්දාන් ගඟෙන් එතෙර, යෙරිකෝවට එපිටින් මෝවබ් තැනිතලාවලදී මෝසෙස් විසින් දී තිබූ උරුමය එයයි. 33එහෙත් මෝසෙස්, ලෙවී ගෝත්‍ර වංශයට උරුමයක් දුන්නේ නැත. මන්ද ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ උන්වහන්සේ ම ඔවුන්ට පොරොන්දු වූ පරිදි උන්වහන්සේ ම ඔවුන්ගේ උරුමය විය.

දැනට තෝරාගෙන ඇත:

යෝෂුවා 13: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න