යෝෂුවා 13:15-33

යෝෂුවා 13:15-33 SCV

රූබෙන් ගෝත්‍ර වංශයට ඔවුන්ගේ පෙළපත්වලට අනුව මෝසෙස් උරුමයක් දුන්නේ ය: ඔවුන්ගේ භූමි ප්‍රදේශය වූයේ අර්ණොන් දොරුව අද්දර පිහිටි අරෝයෙර් පටන් හා දොරුව අසබඩ පුරවරයේ පටන් හා මෙදෙබා අසල මුළු කඳු තලාව සමඟ හෙෂ්බෝන් සහ එහි කඳු තලාවේ සියලු නගර වන දීබොන්, බාමොත්-බාල්, බෙත්-බාල්-මෙයෝන්, යහස්, කෙදේමොත්, මේෆාත්, කිරියාතායිම්, සිබ්මා, මිටියාවතේ කඳුගැටයේ සෙරෙත්-ෂහර්, බෙත්-පෙයෝර්, පිස්ගා බෑවුම් සහ බෙත්-යෙෂීමොත් ඇතුළු කඳු තලාවේ සියලු නගර සහ හෙෂ්බෝන්හි රජකම් කළ අමෝරිවරුන්ගේ රජු වූ සීහොන්ගේ මුළු රාජ්‍යය ද වේ. සීහොන් සමඟ මිත්‍ර ඔහුගේ දේශයේ වාසය කළ වංශවත් මිදියන් අධිපතීන් වූ එවී, රෙකෙම්, සූර්, හූර් සහ රෙබා ද මෝසෙස් විසින් පරාජය කොට තිබිණි. යුද්ධයේදී මරන ලද්දවුන්ට අමතරව, නිමිති බලන්නා වන බෙයෝර්ගේ පුත් බාලාම් ද ඉශ්‍රායෙල්වරුන් විසින් කඩු ගා දමා තිබිණි. රූබෙන්වරුන්ගේ දේශ සීමාව, යොර්දානය හා එහි ගං ඉවුරු ය. මේ නගර සහ ඒවාට අයත් ගම්මාන ඔවුන්ගේ පෙළපත් අතරේ රූබෙන්වරුන්ගේ උරුමය විය. ගාද් ගෝත්‍රයට ඔවුන්ගේ පෙළපත්වලට අනුව මෝසෙස් උරුමයක් දුන්නේ ය: ඔවුන්ගේ භූමි ප්‍රදේශය වූයේ යාසේර් පළාත, ගිලියාද්හි සියලු නගර, රබ්බා ඉදිරිපිට අරෝයෙර් දක්වා අම්මොන්වරුන්ගේ රටෙන් අඩක්; හෙෂ්බෝන් පටන් රාමත්-මිස්පේ හා බෙටොනීම් දක්වා හා මහනයිම් පටන් දෙබීර් පළාත දක්වා; මිටියාවතේ වූ බෙත්-හාරාම්, බෙත්-නිම්රා, සුක්කොත් සහ සාෆෝන් සමඟ හෙෂ්බෝන්හි රජු වූ සීහොන්ගේ රාජ්‍යයේ ඉතිරි කොටස. යොර්දානය සහ යොර්දානයට එපිටින් කින්නෙරෙත් මුහුදු පහළ කෙළවර දක්වා වූ එහි ඉවුරු වේ. එම නගර සහ ඒවාට අයත් ගම්මාන ඔවුන්ගේ පෙළපත් අතරේ ගාද්වරුන්ට ලැබුණු උරුමය විය. මනස්සේ ගෝත්‍ර වංශ අර්ධයට, මෝසෙස් උරුමයක් දුන්නේ ය. එය ඔවුන්ට වෙන් කර දෙනු ලැබුවේ මනස්සේ ගෝත්‍ර අර්ධයට ඔවුන්ගේ පෙළපත්වලට අනුව ය: ඔවුන්ගේ භූමි ප්‍රදේශය විහිද ගියේ මහනයිම් සිට සමස්ත බාෂාන් ඔස්සේ බාෂාන්හි ඕග් රජුගේ මුළු රාජධානිය, බාෂාන්හි යායීර්ගේ වාස භූමි වන නගර හැට, ගිලියාද්හි අඩක්, බාෂාන්හි ඕග්ගේ රාජකීය පුරවරයන් වූ අෂ්තාරෝත් සහ එද්රෙයි වේ. පෙළපත් අතරේ මාකීර්ගේ පුත්‍රයන්ගෙන් අඩකට, එනම් මනස්සේගේ පුත් මාකීර්ගෙන් පැවත එන්නවුන්ට මේ නගර වෙන් කර දෙන ලදී. යොර්දාන් ගඟෙන් එතෙර, යෙරිකෝවට එපිටින් මෝවබ් තැනිතලාවලදී මෝසෙස් විසින් දී තිබූ උරුමය එයයි. එහෙත් මෝසෙස්, ලෙවී ගෝත්‍ර වංශයට උරුමයක් දුන්නේ නැත. මන්ද ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ උන්වහන්සේ ම ඔවුන්ට පොරොන්දු වූ පරිදි උන්වහන්සේ ම ඔවුන්ගේ උරුමය විය.