යෝෂුවා මහලු ව, බෙහෙවින් වියපත් ව සිටියදී, ස්වාමින්වහන්සේ ඔහු අමතමින්, “ඔබ දැන් මහලුයි. දේශයේ තවත් විශාල ප්‍රමාණයක් අල්ලා ගැනීමට තියේ.
“ඉතිරි ව ඇති බිම් පෙදෙස් මේවා ය:
“පිලිස්තිවරුන්ගේ පළාත් සියල්ල හා ගෙෂූර්වරුන්ගේ ඒවා ය; ඊජිප්තුවට නැගෙනහිරින් ෂීහොර් ඔයේ සිට උතුරින් එක්‍රෝන් ප්‍රදේශය දක්වා වූ කානානිවරුන්ට අයත් හැටියට ගැනෙන, පිලිස්ති අධිපතීන් පස්දෙනාගේ පළාත් වන ගාසාවරුන්ගේ, අෂ්දෝද්වරුන්ගේ, අෂ්කෙලොන්වරුන්ගේ, ගිත්තීවරුන්ගේ හා එක්රෝන්වරුන්ගේ පළාත් හා
දකුණු දෙසින් අව්විවරුන්ට අයත් පළාත.
කානානිවරුන්ගේ මුළු දේශය ද සීදොන්වරුන්ගේ මෙයාරාහි පටන් අෆේක් දක්වා ද අමෝරිවරුන්ගේ පළාත ද
ගිබ්ලිවරුන්ගේ දේශය හා
හෙර්මොන් කන්ද පහළ බාල්-ගාද් පටන් ලෙබෝ-හමාත් දක්වා නැගෙනහිරට මුළු ලෙබනොනය ද වේ.
“ලෙබනොන් පටන් මිස්රෙෆොත්-මයිම් දක්වා කඳුකර පළාත්වාසී සියල්ලන්, සැබවින් ම සීදොන්වරු සියල්ලන් මම ඉශ්රායෙල් ඉදිරිපිටින් පන්නා දමන්නෙමි. මා ඔබට අණ කර ඇති පරිදි, මේ දේශය ඉශ්රායෙල්ට උරුමයක් කොට බෙදා දෙන්නට වග බලා ගන්න. එබැවින් දැන් මේ දේශය, ගෝත්‍ර වංශ නවය හා මනස්සේ ගෝත්‍ර වංශ අර්ධය අතරේ ඔවුන්ගේ උරුමය හැටියට බෙදා දෙන්නැ” යි කී සේක.
ස්වාමින්වහන්සේගේ සේවක මෝසෙස් ඔවුන්ට දුන් පරිදි මනස්සේ ගෝත්‍ර වංශයේ අනෙක් අර්ධයට, රූබෙන්වරුන්ට හා ගාද්වරුන්ට මෝසෙස් සලසා දුන් පරිදි යොර්දානයට එපිට නැගෙනහිරින් ඔවුන්ගේ උරුමය ලැබී තිබිණි.
එය අර්ණොන් දොරුව අද්දර පිහිටි අරෝයෙර් පටන් හා දොරුව අසබඩ පුරවරයේ පටන් මෙදෙබා මුළු කඳු තලාව ඇතුළු දීබොන් දක්වා ද හෙෂ්බෝන්හි රජකම් කළ අමෝරිවරුන්ගේ රජු වූ සීහොන්ගේ නගර සියල්ල ද අම්මොන්වරුන්ගේ දේශ සීමා තෙක් ද
ගෙෂූර්වරුන්ගේ හා මාකාතිවරුන්ගේ දේශ සීමාව වන ගිලියාද් ද මුළු හෙර්මොන් කන්ද හා සලෙකා දක්වා වූ මුළු බාෂාන් ද ඊට අයත් ය. එය රෙෆායිවරුන්ගේ අන්තිමයකු වශයෙන් ජීවත් වූ අෂ්තාරෝත්හි හා එද්රෙයිහි රජකම් කළ බාෂාන්හි ඕග්ගේ මුළු රාජධානියයි. මෝසෙස් ඔවුන් පරදා, ඔවුන්ගේ දේශය අත්කර ගෙන තිබිණි. එහෙත් ඉශ්රායෙල්වරුන් ගෙෂූර් හා මාකාතී ජනයා පන්නා නො දැමුවෝ ය; එබැවින් ගෙෂූරිවරු හා මාකාවරු අද දක්වා ඉශ්රායෙල්වරුන් අතරේ වාසය කරති.
එහෙත් ලෙවී ගෝත්‍ර වංශයට මෝසෙස් උරුමයක් දුන්නේ නැත. මන්ද ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ගින්නෙන් යාග කරන පූජා, උන්වහන්සේ ම ඔවුන්ට පවසා තිබූ පරිදි ඔවුන්ගේ උරුමය විය.
රූබෙන් ගෝත්‍ර වංශයට ඔවුන්ගේ පෙළපත්වලට අනුව මෝසෙස් උරුමයක් දුන්නේ ය:
ඔවුන්ගේ භූමි ප්‍රදේශය වූයේ අර්ණොන් දොරුව අද්දර පිහිටි අරෝයෙර් පටන් හා දොරුව අසබඩ පුරවරයේ පටන් හා මෙදෙබා අසල මුළු කඳු තලාව සමඟ හෙෂ්බෝන් සහ එහි කඳු තලාවේ සියලු නගර වන දීබොන්, බාමොත්-බාල්, බෙත්-බාල්-මෙයෝන්, යහස්, කෙදේමොත්, මේෆාත්, කිරියාතායිම්, සිබ්මා, මිටියාවතේ කඳුගැටයේ සෙරෙත්-ෂහර්, බෙත්-පෙයෝර්, පිස්ගා බෑවුම් සහ බෙත්-යෙෂීමොත් ඇතුළු කඳු තලාවේ සියලු නගර සහ හෙෂ්බෝන්හි රජකම් කළ අමෝරිවරුන්ගේ රජු වූ සීහොන්ගේ මුළු රාජ්‍යය ද වේ. සීහොන් සමඟ මිත්‍ර ඔහුගේ දේශයේ වාසය කළ වංශවත් මිදියන් අධිපතීන් වූ එවී, රෙකෙම්, සූර්, හූර් සහ රෙබා ද මෝසෙස් විසින් පරාජය කොට තිබිණි. යුද්ධයේදී මරන ලද්දවුන්ට අමතරව, නිමිති බලන්නා වන බෙයෝර්ගේ පුත් බාලාම් ද ඉශ්රායෙල්වරුන් විසින් කඩු ගා දමා තිබිණි.
රූබෙන්වරුන්ගේ දේශ සීමාව, යොර්දානය හා එහි ගං ඉවුරු ය. මේ නගර සහ ඒවාට අයත් ගම්මාන ඔවුන්ගේ පෙළපත් අතරේ රූබෙන්වරුන්ගේ උරුමය විය.
ගාද් ගෝත්‍රයට ඔවුන්ගේ පෙළපත්වලට අනුව මෝසෙස් උරුමයක් දුන්නේ ය:
ඔවුන්ගේ භූමි ප්‍රදේශය වූයේ යාසේර් පළාත, ගිලියාද්හි සියලු නගර, රබ්බා ඉදිරිපිට අරෝයෙර් දක්වා අම්මොන්වරුන්ගේ රටෙන් අඩක්; හෙෂ්බෝන් පටන් රාමත්-මිස්පේ හා බෙටොනීම් දක්වා හා මහනයිම් පටන් දෙබීර් පළාත දක්වා; මිටියාවතේ වූ බෙත්-හාරාම්, බෙත්-නිම්රා, සුක්කොත් සහ සාෆෝන් සමඟ හෙෂ්බෝන්හි රජු වූ සීහොන්ගේ රාජ්‍යයේ ඉතිරි කොටස. යොර්දානය සහ යොර්දානයට එපිටින් කින්නෙරෙත් මුහුදු පහළ කෙළවර දක්වා වූ එහි ඉවුරු වේ.
එම නගර සහ ඒවාට අයත් ගම්මාන ඔවුන්ගේ පෙළපත් අතරේ ගාද්වරුන්ට ලැබුණු උරුමය විය.
මනස්සේ ගෝත්‍ර වංශ අර්ධයට, මෝසෙස් උරුමයක් දුන්නේ ය. එය ඔවුන්ට වෙන් කර දෙනු ලැබුවේ මනස්සේ ගෝත්‍ර අර්ධයට ඔවුන්ගේ පෙළපත්වලට අනුව ය:
ඔවුන්ගේ භූමි ප්‍රදේශය විහිද ගියේ මහනයිම් සිට සමස්ත බාෂාන් ඔස්සේ බාෂාන්හි ඕග් රජුගේ මුළු රාජධානිය, බාෂාන්හි යායීර්ගේ වාස භූමි වන නගර හැට, ගිලියාද්හි අඩක්, බාෂාන්හි ඕග්ගේ රාජකීය පුරවරයන් වූ අෂ්තාරෝත් සහ එද්රෙයි වේ.
පෙළපත් අතරේ මාකීර්ගේ පුත්‍රයන්ගෙන් අඩකට, එනම් මනස්සේගේ පුත් මාකීර්ගෙන් පැවත එන්නවුන්ට මේ නගර වෙන් කර දෙන ලදී.
යොර්දාන් ගඟෙන් එතෙර, යෙරිකෝවට එපිටින් මෝවබ් තැනිතලාවලදී මෝසෙස් විසින් දී තිබූ උරුමය එයයි. එහෙත් මෝසෙස්, ලෙවී ගෝත්‍ර වංශයට උරුමයක් දුන්නේ නැත. මන්ද ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ උන්වහන්සේ ම ඔවුන්ට පොරොන්දු වූ පරිදි උන්වහන්සේ ම ඔවුන්ගේ උරුමය විය.