හාසොර්හි රජු වූ යාබීන් ඒ වග ඇසූ කල, ඔහු මාදොන්හි රජු වූ යෝබාබ්ට ද ෂිම්රෝන්හි රජුට හා අක්ෂාෆ්හි රජුට ද උතුරු දිග කඳු රටේත්, කින්නෙරෙත්ට දකුණින් පිහිටි අරාබාහි, බටහිර කඳු බෑවුමේ, බටහිර නාෆොත්-දෝර්හි රජුන්ට ද පෙර-අපර දෙදිග කානානිවරුන්ට ද කඳුකරයේ සිටි අමෝරිවරුන්ට, හිත්තිවරුන්ට, පෙරිස්සිවරුන්ට හා කඳුකරයේ යෙබූසිවරුන්ට ද හෙර්මොන් කන්දට පහළින් මිස්පා පළාතේ සිටි හිවීවරුන්ට ද පණිවුඩ යැවී ය. එවිට තම සේනාංක සියල්ල, අශ්වයින් හා යුධ රථ අති විශාල වශයෙන් ගෙන, පිටත් ව ආ ඔවුන් මුහුදු වෙරළේ වැලි මෙන් ගණන් කළ නො හැකි තරම් මහ හමුදාවක් විය. ඉශ්‍රායෙල්ට එරෙහිව යුද්ධ වදින්නට මේ සියලු රජවරු තම සේනාංක ඒකාබද්ධ කොට, මේරොම් ජලය අසල කඳවුරු බැඳ ගත්හ.
එවිට ස්වාමින්වහන්සේ යෝෂුවා අමතා, “ඔවුන්ට භය නො වන්න; මන්ද හෙට මේ වෙලාවට මරා දමනු ලැබ, ඉශ්‍රායෙල් අතට ඔවුන් සියල්ලන් හසුකර දෙන්නෙමි; ඔබ ඔවුන්ගේ අශ්වයින්ගේ කලවා නහර කපා, ඔවුන්ගේ රථ ගින්නෙන් පුලුස්සා දැමිය යුතු යැ” යි කී සේක.
එබැවින් යෝෂුවා හා ඔහුගේ මුළු යුධකාමී සේනාව, මේරොම් ජලය අසලදී හදිසියේ ම ඔවුන් පිට කඩා වැදුණේ ය. ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් අතට ඔවුන් යටත් කර දුන් සේක. ඔවුහු ඔවුන්ට පහර දෙමින්, මහ සීදොන් දක්වා ද මිස්රෙෆොත්-මයිම් තෙක් දුරට පෙරදිගින් මිස්පේ මිටියාවත තෙක් දුරට ද කිසිවකු ඉතිරි නො වන තුරු ඔවුන් හඹා ගියහ. යෝෂුවා තමාට ස්වාමින්වහන්සේ අණ කර තිබූ පරිදි ඔවුන්ට කර, ඔවුන්ගේ අශ්වයින්ගේ කලවා නහර කපා, ඔවුන්ගේ රථ ගින්නෙන් පුලුස්සා දැමී ය.
එකල්හි යෝෂුවා ආපසු හැරී, හාසොර් අල්ලාගෙන, එහි රජු කඩුවෙන් ගසා හෙළී ය. ඉහතදී මේ රාජධානි සියල්ලට ම ප්‍රධාන ව තිබුණේ හාසොර් ය. ඔවුහු එතුළ සිටි සියල්ලන්ට කඩු මුවහතින් පහර දී, හුස්ම ඇති කිසිවකු ඉතිරි නො කොට, ඔවුන් සහමුලින් විනාශ කර දැමූහ. ඔහු හාසොර් ගින්නෙන් පුලුස්සා දැමී ය.
යෝෂුවා ඒ සියලු රාජකීය පුරවර හා ඔවුන්ගේ රජවරුන් අල්ලා, ඔවුන් කඩු ගා දැමී ය. ස්වාමින්වහන්සේගේ සේවක මෝසෙස් අණ කර තිබූ පරිදි, ඔහු ඔවුන් සහමුලින් විනාශ කර දැමී ය. එහෙත් යෝෂුවා විසින් පුලුස්සන ලද හාසොර් හැර, ගොඩැලි පිට ඉදිකර තිබූ කිසි පුරවරයක් ඉශ්‍රායෙල්වරුන් පිළිස්සුවේ නැත. ඉශ්‍රායෙල්වරු එපුරවරයන්හි වස්තුවත්, සත්ව සම්පතත් කොල්ලය වශයෙන් තමන්ට ම ගත්හ. එහෙත් හුස්ම ඇති කිසිවකු ඉතිරි නො වන ලෙස ජනයාට කඩු මුවහතින් පහර දුන් ඔවුහු, ඔවුන් සහමුලින් විනාශ කර දැමූහ. ස්වාමින්වහන්සේ ස්වකීය සේවක මෝසෙස්ට අණ කළේ යම් සේ ද, එසේ ම මෝසෙස් යෝෂුවාට අණ කළේ ය. යෝෂුවා ඒ අනුව කළේ ය; ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කළ සියල්ලෙන් කිසිවක් යෝෂුවා ඉටු නො කර සිටියේ නැත.
මෙසේ යෝෂුවා මුළු දේශය ම අත්කර ගත්තේ ය. එනම් කඳුකරය හා මුළු නෙගෙබ් පළාත, මුළු ගෝෂෙන් දේශය, බටහිර කඳු බෑවුම් හා අරාබා, ඉශ්‍රායෙල් කඳුරට හා එහි කඳු බෑවුම්; සේයිර් දෙසට විහිදී යන හාලක් කන්ද පටන් හෙර්මොන් කන්දට පහළ ලෙබනොන් මිටියාවතේ බාල්-ගාද් දක්වා දේශය ද වේ. ඔවුන්ගේ රජවරුන් හැම අල්ලා ගත් ඔහු ඔවුන් ගසා හෙළමින්, මරා දැමී ය. යෝෂුවා ඒ රජවරුන්ට එරෙහිව දිගු කලක් යුද්ධ කළේ ය. ගිබෙයොන්හි හිවීවරුන් හැර, ඉශ්‍රායෙල්වරුන් හා සාමයට ආ අන් කිසි පුරවරයක් නො වී ය. ඔවුහු ඒ සියල්ල අත්පත් කර ගත්තේ යුද්ධ කිරීමෙනි. මන්ද ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ දී තිබූ ලෙස දයාවෙන් තොර ව, ඔවුන් සහමුලින් විනාශ කරනු ලබන පිණිස, ඉශ්‍රායෙල්ට එරෙහිව යුද්ධ කරන්නට ඔවුන්ගේ හදවත් දැඩි කරන ලද්දේ ස්වාමින්වහන්සේ විසිනි.
එකල යෝෂුවා අවුත්, කඳුකරයෙන්, හෙබ්‍රොන් වෙතින්, දෙබීර් වෙතින් හා අනාබ් වෙතින් ද යූදාහි මුළු කඳු රටින් ද ඉශ්‍රායෙල්හි මුළු කඳු රටෙන් ද අනාක්වරුන් අතු ගා දැමී ය. යෝෂුවා සහමුලින් ඔවුන් විනාශ කර දැමුවේ, ඔවුන්ගේ නගර ද සමඟ ය. ඉශ්‍රායෙල් දේශ සීමාව තුළ අනාක්වරු එක් කෙනෙක්වත් ඉතිරි ව සිටියේ නැත. එහෙත් ගාසා, ගාත් හා අෂ්දෝද්හි පමණක් ඇතමෙක් ඉතිරි ව සිටියහ.
මෙසේ ස්වාමින්වහන්සේ මෝසෙස්ට පවසා තිබූ පරිදි යෝෂුවා මුළු දේශය ම අල්ලාගෙන, ඔවුන්ගේ ගෝත්‍රවල බෙදුම්වලට අනුව ඉශ්‍රායෙල්ට උරුමයක් කොට, එය බෙදා දුන්නේ ය. ඉන්පසු යුද්ධය නැවතී දේශයට විශ්‍රාමය ලැබිණ.