යෝෂුවා 10

10
හිරු එක තැන නැවතීම
1තවද යෝෂුවා යෙරිකෝවටත් එහි රජුටත් කළ පරිදි ආයිට හා එහි රජුටත් කරමින්, ආයි අල්ලාගෙන, එය සහමුලින් විනාශ කළ අයුරු ද ගිබෙයොන් වාසීන්, ඉශ්‍රායෙල් සමඟ සාමය ඇතිකර ගෙන ඔවුන් අසල වාසය කරන අයුරු ද යෙරුසලමේ රජු වූ අදොනී-සෙදෙක් ඇසූ කල, 2ඔහු අතිශයෙන් භය වූයේ, ගිබෙයොන් පුරවරය, රාජකීය පුරයක් සේ ආයිට වඩා විශාල ව, එහි මිනිස්සු සැවොම දක්ෂ සටන්කරුවන් ව සිටි බැවිනි. 3එබැවින් යෙරුසලමෙහි රජු වූ අදොනී-සෙදෙක්, හෙබ්‍රොන්හි රජු වූ හෝහාම්ට ද යර්මූත්හි රජු වූ පිරාම්ට ද ලාකීෂ්හි රජු වූ යාෆියාට ද එග්ලොන්හි රජ වූ දෙබීර්ට ද පණිවුඩ යවමින්, 4“ඇවිත්, ගිබෙයොන්ට පහර දෙන්නට මට ආධාර දෙන්න; මන්ද එපුර යෝෂුවා හා ඉශ්‍රායෙල්වරුන් සමඟ සාමය ඇතිකර ගෙන සිටී” යි දැන්වී ය.
5එවිට තම සේනාංක කැඳවූ අමෝරි රජවරුන් පස්දෙනා වන යෙරුසලමෙහි රජු, හෙබ්‍රොන්හි රජු, යර්මූත්හි රජු, ලාකීෂ්හි රජු හා එග්ලොන්හි රජු තම බල සේනා රැස් කර තම හමුදා සියල්ල කැටිව ගොස්, ගිබෙයොන්ට එරෙහිව කඳවුරු බැඳ, ඊට පහර දෙන්නට වන්හ.
6ගිබෙයොන්වරු එවිට ගිල්ගාල් කඳවුරේ සිටි යෝෂුවා වෙත පණිවුඩ යවමින්, “ඔබේ දාසයින් අත්හරින්න එපා; වහා ඇවිත්, අප ගලවා ගන්න. අපට උදවු කරන්න. කඳු රටේ සිට අමෝරිවරුන්ගේ සියලු රජවරුන් අපට එරෙහිව එක් රැස් වෙලා” යි දැන්වූහ.
7එබැවින් යෝෂුවා ගිල්ගාල් සිට ගියේ ය. ඔහු ද ඔහු සමඟ යුද්ධකාමී මිනිස්සු සියලු දෙනා ද ප්‍රබල රණවිරුවන් ද වූහ. 8එවිට ස්වාමින්වහන්සේ යෝෂුවාට කතා කොට, “ඔවුන්ට භය නො වන්න; මම ඔවුන් ඔබේ අත්වලට දී ඇත්තෙමි. ඔවුන්ගෙන් කිසිවකුට ඔබ ඉදිරියෙහි සිටගත නො හැකි” යි කී සේක.
9ගිල්ගාල් සිට රාත්‍රිය පුරා ගමන් කළ යෝෂුවා, හදිසියේ ම ඔවුන්ට පහර දුන්නේ ය. 10ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් ඉදිරියේ ඔවුන් වියවුල් කළ සේක. ගිබෙයොන්හි මහත් ඝාතනයකින් ඉශ්‍රායෙල් ඔවුන් වනසා දැමූහ. බෙත්-හෝරෝන් දෙසට නැගෙන මගෙහි ඔවුන් ලුහුබැඳ ගිය ඉශ්‍රායෙල්, අසේකා හා මක්කේදා දක්වා ම ඔවුන් ගසා හෙළූහ. 11ඔවුන් ඉශ්‍රායෙල් ඉදිරියෙන් පලා යද්දී, බෙත්-හෝරෝන් බෑවුමේ ඔවුන් යන කල අසේකා දක්වා ඈතට ම ස්වාමින්වහන්සේ අහසින් විශාල ගල් ඔවුන් පිට හෙළූ සේක. ඔවුහු මළෝ ය. ඉශ්‍රායෙල්වරුන් කඩුවෙන් මැරුවාට වඩා ගල් වැස්සෙන් මරණයට පත් වූවෝ බොහෝ ය.
12 ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයින්ට අමෝරිවරුන් යටත් කර දුන් ඒ දවසේ, යෝෂුවා, ඉශ්‍රායෙල් ජන සමූහයා ඉදිරියේදී ස්වාමින්වහන්සේට කතා කරමින්,
“එම්බා සූර්යය, ගිබෙයොන්ට ඉහළින් නැවතී සිටිනු;
එම්බා චන්ද්‍රය, අයියාලොන් මිටියාවතට ඉහළින් සිටිනු” යි පැවසී ය.
13එවිට ජාතිය ඔවුන්ගේ සතුරන්ගෙන් පළි ගන්නා තෙක් ම
සූර්යයා නිසල ව නැවතිණ.
චන්ද්‍රයා ද නැවතුණේ ය.
යාෂාර්ගේ පොතේ මෙය ලියා තියෙනවා නො වේ ද?
අහස මැද නැවතී සිටි සූර්යයා, සම්පූර්ණ දවසක් පමණ බැස යන්නට ඉක්මන් නො වී ය. 14ස්වාමින්වහන්සේ මිනිසකුගේ කටහඬට සවන් දුන් එවන් දවසක් එතෙක් මෙතෙක් නො වී ය. මන්ද ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් උදෙසා සටන් කළ සේක.
15ඉන්පසු යෝෂුවා ගිල්ගාල්හි කඳවුර වෙත ආපසු ගියේ ය. ඉශ්‍රායෙල් සියල්ලෝ ද ඔහු සමඟ ගියෝ ය.
අමෝරි රජුන් පස්දෙනා මරනු ලැබීම
16එම රජවරු පස්දෙනා ම පලා ගොස්, තුමූම මක්කේදා ගුහාවේ සැඟවුණහ. 17රජවරුන් පස්දෙනා ම මක්කේදා ගුහාවේ සැඟවී සිටිනු සම්බ විණැයි යෝෂුවාට දන්වනු ලැබිණ. 18යෝෂුවා කතා කොට, “ගුහා කටට විශාල ගල් පෙරළා, එතැන මුරට මිනිසුන් සිටුවන්න. 19එහෙත් ඔබ එතැන නැවතී නො සිට, ඔබේ සතුරන් ලුහුබැඳ යන්න. පිටුපසින් සිට ඔවුන්ට පහර දෙන්න. ඔවුන්ගේ පුරවර වෙත ළඟාවෙන්නට ඔවුන්ට ඉඩ නො දෙන්න. මන්ද ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔවුන් ඔබ අතට හසුකර දී ඇතැ” යි පැවසී ය.
20එබැවින් යෝෂුවා හා ඉශ්‍රායෙල්වරු ඔවුන් සහමුලින් ම විනාශ වී යන තෙක් අති මහත් ඝාතනයකින් පහර දුන් පසු, ඉතිරි වූ ස්වල්ප දෙනෙක් තම බළකොටු පුරවරවලට ඇතුළු වූ පසු, 21මුළු මහත් ජනතාව නිරුපද්‍රිත ව යෝෂුවා වෙත මක්කේදා කඳවුරට ආපසු ආහ. කිසිවකුදු ඉශ්‍රායෙල්වරුන්ට එරෙහිව වචනයක්වත් පැවසුවේ නැත.
22යෝෂුවා කතා කොට, “ගුහා කට ඇර, ඒ රජුන් පස්දෙනා මා වෙතට පිටතට ගෙනෙනු” යි කී ය. 23එබැවින් ඔවුහු එසේ කරමින්, එම රජවරුන් පස්දෙනා වූ යෙරුසලමෙහි රජු, හෙබ්‍රොන්හි රජු, යර්මූත්හි රජු, ලාකීෂ්හි රජු හා එග්ලොන්හි රජු, ගුහාවෙන් පිටතට ගෙන ආහ. 24ඔවුන් මේ රජවරුන් පස්දෙනා යෝෂුවා වෙත පිටතට ගෙනා කල, යෝෂුවා සියලු ඉශ්‍රායෙල් මිනිසුන් කැඳවා, තමා සමඟ ගිය යුද්ධ ප්‍රධානීන් අමතා, “මෙහි එන්න. ඔබේ පාද මේ රජුන්ගේ ගෙල මත තබන්නැ” යි කී ය. එබැවින් ඔවුහු ළං වී, තම පා ඔවුන්ගේ ගෙල මත තැබූහ.
25යෝෂුවා ඔවුන්ට කතා කොට, “භය වන්න එපා; කැලඹෙන්න එපා. බලවත් වන්න, ධෛර්යවත් වන්න. ඔබ සමඟ සටන් කරන සතුරන් සියලු දෙනාට ස්වාමින්වහන්සේ කරන්නේ මෙසේ යැ” යි පැවසී ය. 26යෝෂුවා ඉන්පසු ඔවුන් ගසා හෙළා, මරා දැමී ය. ඔහු ගස් පහක ඔවුන් එල්ලා තැබී ය. ඔවුහු සවස දක්වා එසේ ගස්වල එල්ලා තබන ලදහ.
27හිරු අවරට යන කල, යෝෂුවා අණ දුන්නෙන්, ඔවුහු ගස්වලින් ඔවුන් බා, ඔවුන් සැඟවී සිටි ගුහාව තුළට හෙළා, ගුහා කටට විශාල ගල් තැබූහ. ඒවා මේ අද දවස දක්වා එහි තිබේ.
දකුණේ පෙදෙස් අල්ලා ගැනීම
28ඒ දවසේ යෝෂුවා, මක්කේදා අල්ලා ගත්තේ ය. ඔහු පුරවරයටත්, එහි රජුටත් කඩු මුවහතින් පහර දී, එහි වූවන් ද සමූලඝාතන කළේ ය. ඔහු කිසිවකු ඉතිරි කළේ නැත. ඔහු යෙරිකෝවේ රජුට කර තිබූ පරිද්දෙන් මක්කේදා රජුට ද කළේ ය.
29ඉන්පසු යෝෂුවා හා ඔහු සමඟ සිටි මුළු ඉශ්‍රායෙල් ජනයා මක්කේදා සිට ලිබ්නාට ගොස්, ලිබ්නාට එරෙහිව සටන් කළහ. 30ස්වාමින්වහන්සේ ඒ පුරවරයත් එහි රජුත් ඉශ්‍රායෙල් අතට දුන් සේක. ඔහු ඊට ද එහි වූ හැම කෙනකුට ම ද කඩු මුවහතින් පහර දුන්නේ ය. ඔහු කිසිවකු ඉතිරි කළේ නැත. ඔහු යෙරිකෝවේ රජුට කළ පරිදි, එහි රජුට ද කළේ ය.
31ඉන්පසු යෝෂුවා සියලු ඉශ්‍රායෙල්වරුන් සමඟ ලිබ්නා සිට ලාකීෂ් දක්වා ඉදිරියට ගොස් එය වටලා, ඊට එරෙහිව සටන් වැදුණේ ය. 32ස්වාමින්වහන්සේ ලාකීෂ් පුරවරය ඉශ්‍රායෙල් අතට දුන් සේක. දෙවන දවසේ ඔහු එය අල්ලාගෙන, ඊට ද එහි වූ හැම කෙනකුට ම ද කඩු මුවහතින් පහර දුන්නේ ඔහු ලිබ්නාට කළ ලෙස ම ය. 33මේ අතර ගෙසෙර්හි රජු වූ හොරාම්, ලාකීෂ්හි උදව්වට ආවේ ය. එහෙත් යෝෂුවා ඔහු ද ඔහුගේ ජනයා ද ගසා හෙළුවේ කිසිවකුත් ඉතිරි නො වන ලෙසට ය.
34ඉන්පසු යෝෂුවා සියලු ඉශ්‍රායෙල්වරුන් සමඟ ලාකීෂ් සිට එග්ලොන් දක්වා ගමන් කළේ ය; ඔවුහු එය වටලා, ඊට එරෙහිව පහර දුන්හ. 35එදවසේ ම ඔවුන් එය අල්ලාගෙන, ඊට ද එහි වූ හැම කෙනකුට ම ද කඩු මුවහතින් පහර දී, එහි වූ හැම කෙනකු විනාශ කර දැමුවේ ඔහු ලාකීෂ්ට කළ පරිදි ම ය.
36ඉන්පසු යෝෂුවා මුළු ඉශ්‍රායෙල් සමඟ, එග්ලොන් සිට හෙබ්‍රොන් වෙත පිටත් ව ගොස්, ඊට පහර දී, 37එය අල්ලාගෙන, එහි රජු ද එහි නගර හා එහි සිටි සියල්ලන්ට ද කඩු මුවහතින් පහර දුන්හ. ඔහු කිසිවකු ඉතිරි කළේ නැත. ඔහු එග්ලොන්ට කළ පරිදි ම එපුර සහමුලින් ම විනාශ කර දැමුවේ එහි සිටි හැම කෙනකු ම සමඟිනි.
38ඉන්පසු යෝෂුවා මුළු ඉශ්‍රායෙල් සමඟ හැරී අවුත්, දෙබීර්ට එරෙහිව පහර දී, 39එහි රජු ද එහි නගර ද අල්ලා ගත්තේ ය. ඔවුහු එහි වූ හැම කෙනකුට ම කඩු මුවහතින් පහර දුන්හ. ඔහු කිසිවකුත් එහි ඉතිරි කළේ නැත. ඔහු හෙබ්‍රොන්ට හා ලිබ්නාට හා එහි රජුට ද කළ පරිදි ම දෙබීර්හි රජුට ද කළේ ය.
40මෙසේ යෝෂුවා මුළු දේශයට ම පහර දුන්නේ ය; කඳුකරය ද නෙගෙබ් පළාත ද බටහිර කඳු බෑවුම්#10:40 බටහිර කඳු බෑවුම් හෙබ්‍රෙව් ෂෙෆේලා හා නැගෙනහිර කඳු බෑවුම් ද ඔවුන්ගේ රජුන් සියල්ලන් ද ඔහු යටත් කර ගත්තේ ය. ඔහු කිසිවකුත් ඉතිරි කළේ නැත. ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අණ කර තිබූ පරිද්දෙන්, ඔහු හුස්ම ඇති සියල්ලන් විනාශයට කැප කළේ ය. 41කාදෙෂ්-බර්නේය සිට ගාසා දක්වා ද ගිබෙයොන් දක්වා වූ මුළු ගෝෂෙන් දේශය ද යෝෂුවා යටත් කර ගත්තේ ය. 42මෙම රජවරුන් සියල්ලන් හා ඔවුන්ගේ දේශ යෝෂුවා එක ම අවස්ථාවකදී අත්කර ගත්තේ ය. මන්ද, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් උදෙසා සටන් කළ සේක.
43ඉන්පසු යෝෂුවා ඔහු සමඟ වූ මුළු ඉශ්‍රායෙල් කැටුව, ගිල්ගාල් කඳවුර වෙත යළි පැමිණියේ ය.

දැනට තෝරාගෙන ඇත:

යෝෂුවා 10: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න