යෝෂුවා 10:29-43

යෝෂුවා 10:29-43 SCV

ඉන්පසු යෝෂුවා හා ඔහු සමඟ සිටි මුළු ඉශ්‍රායෙල් ජනයා මක්කේදා සිට ලිබ්නාට ගොස්, ලිබ්නාට එරෙහිව සටන් කළහ. ස්වාමින්වහන්සේ ඒ පුරවරයත් එහි රජුත් ඉශ්‍රායෙල් අතට දුන් සේක. ඔහු ඊට ද එහි වූ හැම කෙනකුට ම ද කඩු මුවහතින් පහර දුන්නේ ය. ඔහු කිසිවකු ඉතිරි කළේ නැත. ඔහු යෙරිකෝවේ රජුට කළ පරිදි, එහි රජුට ද කළේ ය. ඉන්පසු යෝෂුවා සියලු ඉශ්‍රායෙල්වරුන් සමඟ ලිබ්නා සිට ලාකීෂ් දක්වා ඉදිරියට ගොස් එය වටලා, ඊට එරෙහිව සටන් වැදුණේ ය. ස්වාමින්වහන්සේ ලාකීෂ් පුරවරය ඉශ්‍රායෙල් අතට දුන් සේක. දෙවන දවසේ ඔහු එය අල්ලාගෙන, ඊට ද එහි වූ හැම කෙනකුට ම ද කඩු මුවහතින් පහර දුන්නේ ඔහු ලිබ්නාට කළ ලෙස ම ය. මේ අතර ගෙසෙර්හි රජු වූ හොරාම්, ලාකීෂ්හි උදව්වට ආවේ ය. එහෙත් යෝෂුවා ඔහු ද ඔහුගේ ජනයා ද ගසා හෙළුවේ කිසිවකුත් ඉතිරි නො වන ලෙසට ය. ඉන්පසු යෝෂුවා සියලු ඉශ්‍රායෙල්වරුන් සමඟ ලාකීෂ් සිට එග්ලොන් දක්වා ගමන් කළේ ය; ඔවුහු එය වටලා, ඊට එරෙහිව පහර දුන්හ. එදවසේ ම ඔවුන් එය අල්ලාගෙන, ඊට ද එහි වූ හැම කෙනකුට ම ද කඩු මුවහතින් පහර දී, එහි වූ හැම කෙනකු විනාශ කර දැමුවේ ඔහු ලාකීෂ්ට කළ පරිදි ම ය. ඉන්පසු යෝෂුවා මුළු ඉශ්‍රායෙල් සමඟ, එග්ලොන් සිට හෙබ්‍රොන් වෙත පිටත් ව ගොස්, ඊට පහර දී, එය අල්ලාගෙන, එහි රජු ද එහි නගර හා එහි සිටි සියල්ලන්ට ද කඩු මුවහතින් පහර දුන්හ. ඔහු කිසිවකු ඉතිරි කළේ නැත. ඔහු එග්ලොන්ට කළ පරිදි ම එපුර සහමුලින් ම විනාශ කර දැමුවේ එහි සිටි හැම කෙනකු ම සමඟිනි. ඉන්පසු යෝෂුවා මුළු ඉශ්‍රායෙල් සමඟ හැරී අවුත්, දෙබීර්ට එරෙහිව පහර දී, එහි රජු ද එහි නගර ද අල්ලා ගත්තේ ය. ඔවුහු එහි වූ හැම කෙනකුට ම කඩු මුවහතින් පහර දුන්හ. ඔහු කිසිවකුත් එහි ඉතිරි කළේ නැත. ඔහු හෙබ්‍රොන්ට හා ලිබ්නාට හා එහි රජුට ද කළ පරිදි ම දෙබීර්හි රජුට ද කළේ ය. මෙසේ යෝෂුවා මුළු දේශයට ම පහර දුන්නේ ය; කඳුකරය ද නෙගෙබ් පළාත ද බටහිර කඳු බෑවුම් හා නැගෙනහිර කඳු බෑවුම් ද ඔවුන්ගේ රජුන් සියල්ලන් ද ඔහු යටත් කර ගත්තේ ය. ඔහු කිසිවකුත් ඉතිරි කළේ නැත. ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අණ කර තිබූ පරිද්දෙන්, ඔහු හුස්ම ඇති සියල්ලන් විනාශයට කැප කළේ ය. කාදෙෂ්-බර්නේය සිට ගාසා දක්වා ද ගිබෙයොන් දක්වා වූ මුළු ගෝෂෙන් දේශය ද යෝෂුවා යටත් කර ගත්තේ ය. මෙම රජවරුන් සියල්ලන් හා ඔවුන්ගේ දේශ යෝෂුවා එක ම අවස්ථාවකදී අත්කර ගත්තේ ය. මන්ද, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් උදෙසා සටන් කළ සේක. ඉන්පසු යෝෂුවා ඔහු සමඟ වූ මුළු ඉශ්‍රායෙල් කැටුව, ගිල්ගාල් කඳවුර වෙත යළි පැමිණියේ ය.

යෝෂුවා 10:29-43 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය