එම රජවරු පස්දෙනා ම පලා ගොස්, තුමූම මක්කේදා ගුහාවේ සැඟවුණහ. රජවරුන් පස්දෙනා ම මක්කේදා ගුහාවේ සැඟවී සිටිනු සම්බ විණැයි යෝෂුවාට දන්වනු ලැබිණ. යෝෂුවා කතා කොට, “ගුහා කටට විශාල ගල් පෙරළා, එතැන මුරට මිනිසුන් සිටුවන්න. එහෙත් ඔබ එතැන නැවතී නො සිට, ඔබේ සතුරන් ලුහුබැඳ යන්න. පිටුපසින් සිට ඔවුන්ට පහර දෙන්න. ඔවුන්ගේ පුරවර වෙත ළඟාවෙන්නට ඔවුන්ට ඉඩ නො දෙන්න. මන්ද ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔවුන් ඔබ අතට හසුකර දී ඇතැ” යි පැවසී ය.
එබැවින් යෝෂුවා හා ඉශ්‍රායෙල්වරු ඔවුන් සහමුලින් ම විනාශ වී යන තෙක් අති මහත් ඝාතනයකින් පහර දුන් පසු, ඉතිරි වූ ස්වල්ප දෙනෙක් තම බළකොටු පුරවරවලට ඇතුළු වූ පසු, මුළු මහත් ජනතාව නිරුපද්‍රිත ව යෝෂුවා වෙත මක්කේදා කඳවුරට ආපසු ආහ. කිසිවකුදු ඉශ්‍රායෙල්වරුන්ට එරෙහිව වචනයක්වත් පැවසුවේ නැත.
යෝෂුවා කතා කොට, “ගුහා කට ඇර, ඒ රජුන් පස්දෙනා මා වෙතට පිටතට ගෙනෙනු” යි කී ය. එබැවින් ඔවුහු එසේ කරමින්, එම රජවරුන් පස්දෙනා වූ යෙරුසලමෙහි රජු, හෙබ්‍රොන්හි රජු, යර්මූත්හි රජු, ලාකීෂ්හි රජු හා එග්ලොන්හි රජු, ගුහාවෙන් පිටතට ගෙන ආහ. ඔවුන් මේ රජවරුන් පස්දෙනා යෝෂුවා වෙත පිටතට ගෙනා කල, යෝෂුවා සියලු ඉශ්‍රායෙල් මිනිසුන් කැඳවා, තමා සමඟ ගිය යුද්ධ ප්‍රධානීන් අමතා, “මෙහි එන්න. ඔබේ පාද මේ රජුන්ගේ ගෙල මත තබන්නැ” යි කී ය. එබැවින් ඔවුහු ළං වී, තම පා ඔවුන්ගේ ගෙල මත තැබූහ.
යෝෂුවා ඔවුන්ට කතා කොට, “භය වන්න එපා; කැලඹෙන්න එපා. බලවත් වන්න, ධෛර්යවත් වන්න. ඔබ සමඟ සටන් කරන සතුරන් සියලු දෙනාට ස්වාමින්වහන්සේ කරන්නේ මෙසේ යැ” යි පැවසී ය. යෝෂුවා ඉන්පසු ඔවුන් ගසා හෙළා, මරා දැමී ය. ඔහු ගස් පහක ඔවුන් එල්ලා තැබී ය. ඔවුහු සවස දක්වා එසේ ගස්වල එල්ලා තබන ලදහ.
හිරු අවරට යන කල, යෝෂුවා අණ දුන්නෙන්, ඔවුහු ගස්වලින් ඔවුන් බා, ඔවුන් සැඟවී සිටි ගුහාව තුළට හෙළා, ගුහා කටට විශාල ගල් තැබූහ. ඒවා මේ අද දවස දක්වා එහි තිබේ.
ඒ දවසේ යෝෂුවා, මක්කේදා අල්ලා ගත්තේ ය. ඔහු පුරවරයටත්, එහි රජුටත් කඩු මුවහතින් පහර දී, එහි වූවන් ද සමූලඝාතන කළේ ය. ඔහු කිසිවකු ඉතිරි කළේ නැත. ඔහු යෙරිකෝවේ රජුට කර තිබූ පරිද්දෙන් මක්කේදා රජුට ද කළේ ය.
ඉන්පසු යෝෂුවා හා ඔහු සමඟ සිටි මුළු ඉශ්‍රායෙල් ජනයා මක්කේදා සිට ලිබ්නාට ගොස්, ලිබ්නාට එරෙහිව සටන් කළහ. ස්වාමින්වහන්සේ ඒ පුරවරයත් එහි රජුත් ඉශ්‍රායෙල් අතට දුන් සේක. ඔහු ඊට ද එහි වූ හැම කෙනකුට ම ද කඩු මුවහතින් පහර දුන්නේ ය. ඔහු කිසිවකු ඉතිරි කළේ නැත. ඔහු යෙරිකෝවේ රජුට කළ පරිදි, එහි රජුට ද කළේ ය.
ඉන්පසු යෝෂුවා සියලු ඉශ්‍රායෙල්වරුන් සමඟ ලිබ්නා සිට ලාකීෂ් දක්වා ඉදිරියට ගොස් එය වටලා, ඊට එරෙහිව සටන් වැදුණේ ය. ස්වාමින්වහන්සේ ලාකීෂ් පුරවරය ඉශ්‍රායෙල් අතට දුන් සේක. දෙවන දවසේ ඔහු එය අල්ලාගෙන, ඊට ද එහි වූ හැම කෙනකුට ම ද කඩු මුවහතින් පහර දුන්නේ ඔහු ලිබ්නාට කළ ලෙස ම ය. මේ අතර ගෙසෙර්හි රජු වූ හොරාම්, ලාකීෂ්හි උදව්වට ආවේ ය. එහෙත් යෝෂුවා ඔහු ද ඔහුගේ ජනයා ද ගසා හෙළුවේ කිසිවකුත් ඉතිරි නො වන ලෙසට ය.
ඉන්පසු යෝෂුවා සියලු ඉශ්‍රායෙල්වරුන් සමඟ ලාකීෂ් සිට එග්ලොන් දක්වා ගමන් කළේ ය; ඔවුහු එය වටලා, ඊට එරෙහිව පහර දුන්හ. එදවසේ ම ඔවුන් එය අල්ලාගෙන, ඊට ද එහි වූ හැම කෙනකුට ම ද කඩු මුවහතින් පහර දී, එහි වූ හැම කෙනකු විනාශ කර දැමුවේ ඔහු ලාකීෂ්ට කළ පරිදි ම ය.
ඉන්පසු යෝෂුවා මුළු ඉශ්‍රායෙල් සමඟ, එග්ලොන් සිට හෙබ්‍රොන් වෙත පිටත් ව ගොස්, ඊට පහර දී, එය අල්ලාගෙන, එහි රජු ද එහි නගර හා එහි සිටි සියල්ලන්ට ද කඩු මුවහතින් පහර දුන්හ. ඔහු කිසිවකු ඉතිරි කළේ නැත. ඔහු එග්ලොන්ට කළ පරිදි ම එපුර සහමුලින් ම විනාශ කර දැමුවේ එහි සිටි හැම කෙනකු ම සමඟිනි.
ඉන්පසු යෝෂුවා මුළු ඉශ්‍රායෙල් සමඟ හැරී අවුත්, දෙබීර්ට එරෙහිව පහර දී, එහි රජු ද එහි නගර ද අල්ලා ගත්තේ ය. ඔවුහු එහි වූ හැම කෙනකුට ම කඩු මුවහතින් පහර දුන්හ. ඔහු කිසිවකුත් එහි ඉතිරි කළේ නැත. ඔහු හෙබ්‍රොන්ට හා ලිබ්නාට හා එහි රජුට ද කළ පරිදි ම දෙබීර්හි රජුට ද කළේ ය.
මෙසේ යෝෂුවා මුළු දේශයට ම පහර දුන්නේ ය; කඳුකරය ද නෙගෙබ් පළාත ද බටහිර කඳු බෑවුම් හා නැගෙනහිර කඳු බෑවුම් ද ඔවුන්ගේ රජුන් සියල්ලන් ද ඔහු යටත් කර ගත්තේ ය. ඔහු කිසිවකුත් ඉතිරි කළේ නැත. ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අණ කර තිබූ පරිද්දෙන්, ඔහු හුස්ම ඇති සියල්ලන් විනාශයට කැප කළේ ය. කාදෙෂ්-බර්නේය සිට ගාසා දක්වා ද ගිබෙයොන් දක්වා වූ මුළු ගෝෂෙන් දේශය ද යෝෂුවා යටත් කර ගත්තේ ය. මෙම රජවරුන් සියල්ලන් හා ඔවුන්ගේ දේශ යෝෂුවා එක ම අවස්ථාවකදී අත්කර ගත්තේ ය. මන්ද, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් උදෙසා සටන් කළ සේක.
ඉන්පසු යෝෂුවා ඔහු සමඟ වූ මුළු ඉශ්‍රායෙල් කැටුව, ගිල්ගාල් කඳවුර වෙත යළි පැමිණියේ ය.