යෝෂුවා 1:1-18

යෝෂුවා 1:1-18 SCV

ස්වාමින්වහන්සේගේ සේවක මෝසෙස්ගේ මරණයෙන් පසු, ස්වාමින්වහන්සේ මෝසෙස්ගේ සහායක, නූන්ගේ පුත්‍ර යෝෂුවා අමතමින්, “මගේ සේවක මෝසෙස් මියැදිලා. එබැවින් දැන් නැගිට, ඉශ්‍රායෙල්වරුන්ට මා දෙන්නට යන දේශයට ඇතුල් වන්නට, ඔබත්, මේ මුළු ජනතාවත් යොර්දාන් ගඟෙන් එතෙර වන්නට ඉදිරියට යන්න. මෝසෙස්ට මා පොරොන්දු වූ ලෙස ඔබේ පා-අඩිය තබන හැම තැනක් ම මම ඔබට දෙන්නෙමි. ඔබේ භූමි ප්‍රදේශය, කාන්තාරය හා මේ ලෙබනොන් පටන්, යුප්‍රටීස් මහ ගංගාව දක්වා හිත්තිවරුන්ගේ මුළු දේශය ද මහ මුහුද දක්වා ද හිරු බසින දෙසට දිස් වේ. ඔබේ ජීවිතය තිබෙන තුරු ඔබට එරෙහිව නැගී සිටින්නට, කිසිවකුටත් හැකි නො වේ, මා මෝසෙස් සමඟ සිටි සේ ඔබ සමඟ ද සිටින්නෙමි. මම ඔබෙන් ඉවත් ව නො යන්නෙමි; ඔබ අත්හැර නො දමන්නෙමි. ශක්තිමත් වන්න; ධෛර්යවත් වන්න; මන්ද මා ඔවුන්ට දෙන වගට ඔවුන්ගේ පියවරුන්ට දිවුළ දේශය උරුම කර ගන්නට ඔවුන් මෙහෙය වන්නේ ඔබයි. “උදක් ම ශක්තිමත් වන්න; වඩා ධෛර්යවත් වන්න. මගේ සේවක මෝසෙස් ඔබට අණ කළ මුළු ව්‍යවස්ථාවට කීකරු වන්නට වග බලා ගන්න; ඔබ යන කොතැනක වුව, ඔබ සඵල වන පිණිස, එයින් දකුණු අතටවත්, වමටවත් නො හැරෙන්න. මේ ව්‍යවස්ථා පොත, ඔබේ මුවෙන් පහවන්නට ඉඩ නො දෙන්න; ඒ තුළ ලියා ඇති සියල්ල කරන්නට වග බලාගන්නා පිණිස, දිවා රැයේ එය මෙනෙහි කරන්න. එවිට ඔබ ඔබේ මාර්ගය සමෘද්ධ කර ගන්නවා ඇත. මෙසේ ඔබ සඵලවත් වනු ඇත. මම ඔබට අණ නො කළෙම් ද? ශක්තිමත් වන්න; ධෛර්යවත් වන්න; භය වන්න එපා; කැලඹෙන්න එපා. මන්ද ඔබ යන කොතැනක වුව, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ සමඟ වන සේකැ” යි පැවසූහ. එබැවින් යෝෂුවා ජනයාගේ නිලධාරීන්ට අණ කරමින්, “කඳවුර පුරා යමින්, ජනයාට අණ කරමින්, ‘ඔබට අවැසි දෑ සූදානම් කර ගන්න; මන්ද, ඔබට අත්කර දෙන පිණිස, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දෙන දේශය උරුම කර ගැනීමට, තුන් දවසකින් ඔබ මේ යොර්දාන් ගඟ තරණය කරනු ඇත’ කියා කියන්නැ” යි පැවසී ය. තවද රූබෙන්වරුන්, ගාද්වරුන් හා මනස්සේ ගෝත්‍ර අර්ධය ඇමතූ යෝෂුවා, “ස්වාමින්වහන්සේගේ සේවක මෝසෙස් ඔබට නියෝග කරමින් කී වචනය සිහි කරන්න. ඒ, ‘ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට විවේක ස්ථානයක් සලසමින්, මේ දේශය ඔබට දෙනු ඇත’ යනුයි. යොර්දාන් ගඟින් මෙගොඩ මෝසෙස් ඔබට දුන් දේශයේ ඔබේ භාර්යාවනට, ඔබේ දරුවන්ට හා ඔබේ සත්ව සම්පතට නැවතී සිටිය හැකියි. එහෙත් ඔබ අතරෙහි සියලු සටන්කාමීන් සන්නද්ධ ව, ඔබේ සහෝදරයින්ට පෙරටුව එතෙරට යා යුතුයි. ඔබ ඔබේ සහෝදරයින්ට උපකාර කළ යුත්තේ, ඔබට දුන් සේ ස්වාමින්වහන්සේ ඔබේ සහෝදරයින්ටත් විවේකය දෙන තෙක් හා ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔවුන්ට දෙන දේශය, ඔවුන් ද අත්කර ගන්නා තෙක් ය. ඉන්පසු ඔබට හිමි දේශයට ආපසු ගොස්, ස්වාමින්වහන්සේගේ සේවක මෝසෙස්, යොර්දාන් ගඟ මෙතෙරින් හිරු නැගෙන දෙසින් ඔබට දුන් දේශය ඔබට උරුම කර ගත හැකි” යි පැවසී ය. එවිට ඔවුහු යෝෂුවාට පිළිතුරු දෙමින්, “ඔබ අපට අණ කරන හැම දෙයක් ම අපි කරන්නෙමු; ඔබ අප යවන කොතැනකට වුව අපි යන්නෙමු. අපි මෝසෙස්ට හැම දේකදී ම කීකරු වූ අයුරින් ඔබට ද කීකරු වන්නෙමු. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ, මෝසෙස් සමඟ සිටි පරිද්දෙන් ඔබ සමඟ ද සිටින සේක්වා! යමකු ඔබේ වචනයට එරෙහිව කැරලි ගසමින්, ඔබ ඔහුට අණ කරන කවර කාරණයකදී වුව, ඔබේ වචනයට අකීකරු වන්නේ නම්, ඔහු මරණයට පත් කෙරේ. එබැවින් දැන් ශක්තිමත් වන්න; ධෛර්යවත් වන්නැ” යි පැවසූහ.

යෝෂුවා 1:1-18 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය