යෝවෙල් 3

3
ජාතීන් විනිශ්චය
1“ඔන්න! එකල්හි, එදවස්හි යූදාවේ හා
යෙරුසලමේ භාග්‍ය මා යළි ස්ථාපිත කළ පසු,
2මම සියලු ජාතීන් රැස් කර,
යෙහෝෂාෆාට්#3:2 යෙහෝෂාෆාට් එනම් ස්වාමින්වහන්සේ විනිශ්චය කරන සේක. මිටියාවතට ඔවුන් ගෙනෙන්නෙමි.
එහිදී මම ඔවුන්ට එරෙහිව විනිශ්චයට එළැඹෙන්නේ,
මගේ ජනයා වන මගේ උරුමය වන ඉශ්‍රායෙල් සම්බන්ධයෙනි.
මන්ද, ඔවුන් මගේ ජනයා ජාතීන් අතරේ විසුරුවා,
මගේ දේශය ද බෙදාගත් බැවිනි.
3මගේ ජනයා බෙදා ගැනීමට පස ඇට දැමූ ඔවුහු,
වේශ්‍යාවක වෙත එළැඹෙන පිණිස, පිරිමි දරුවන් විකුණූහ.
මිදි යුෂ බී මත්වන පිණිස, ගැහැණු දරුවන් විකුණූහ.
4“එම්බා තීර්, සීදොන් හා පිලිස්තියේ සියලු ප්‍රදේශයෙනි, මට එරෙහිව නුඹලාට ඇත්තේ කුමක් ද? මවිසින් කරන ලද්දකට නුඹලා මගෙන් අය කර ගන්නට යනවා ද? නුඹලා මට එකට-එක කරන්නේ නම්, නුඹලා කරන ලද දෑහි විපාකය මමත් ආපිට නුඹලාගේ හිස් පිටට කඩිනමින් හා වේගයෙන් එවන්නෙමි. 5මන්ද, නුඹලා මගේ රිදී ද මගේ රන් ද යන මගේ වටිනාතම වස්තුව නුඹලාගේ දේවාලවලට ගෙන ගියාහු ය. 6යූදා හා යෙරුසලම් ජනයා ඔවුන්ගේ මවු බිමෙන් ඈතට යවන පිණිස නුඹලා ඔවුන් ග්‍රීකයින්ට විකුණූහ.
7“මෙන්න! නුඹලා විසින් ඔවුන් විකුණන ලද දේශ-දේශාන්තර වෙතින් ආපසු හැරී ඒමට මම ඔවුන් පුබුදු වන්නෙමි. තවද, නුඹලා කළ දෑහි විපාකය මම නුඹලාගේ ම හිස් පිටට ආපසු එවන්නෙමි. 8නුඹලාගේ පුතුන් හා දූවරුන් මම යූදා ජනයාට විකුණන්නෙමි; ඔවුන් දුර ඈත සිටින ජාතියක් වන ෂෙබාවරුන්ට ඔවුන් විකුණනු ඇතැ” යි ස්වාමින්වහන්සේ පැවසූ සේක.
9ජාතීන් අතරෙහි මෙය ප්‍රකාශ කරන්න:
යුද්ධයට සූදානම් වන්න!
රණවිරුවන් පුබුදන්න!
සියලු සටන්කාමීහු ළං වෙත්වා. ඔවුන් පහර දෙත්වා.
10ඔබගේ නඟුල් කඩුපත් බවට ද
ඔබගේ විසි-කැති හෙල්ල බවට ද තලාගන්න.
දුබලයා,
“මම බලවත්මි” යි කියත්වා!
11වටපිට සියලු ජාතීනි, වහා අවුත්,
එහි එක් රැස් වන්න,
ඔබගේ රණවිරුවන් ගෙන ආ මැනව, අහෝ ස්වාමින්වහන්ස!
12“ජාතීහු තමන් ම පිබිදෙත්වා!
ඔවුහු යෙහෝෂාෆාට් මිටියාවත තුළට පිවිසෙත්වා!
මම එහි ආසනයේ හිඳ,
හැම දෙසක ම ජාතීන් විනිශ්චය කරන්නෙමි.
13අස්වැන්න පැසී ඇති බැවින්,
දෑකැත්ත ලෙළවන්න.
එන්න, ඇවිත් මිදි මඩින්න,
මිදි මෝල පිරී ඇත.
මිදි යුෂ පීප්ප උතුරා යයි.
ඔවුන්ගේ දුෂ්ටකම ඒ සා ඉමහත් ය.”
14ජන-සන්නිපාතයනි,
තීන්දුවේ මිටියාවතේ ජන-සන්නිපාතයකි!
තීරණයේ මිටියාවතේ
ස්වාමින්වහන්සේගේ දවස අත ළඟ ය.
15හිරුත්, සඳුත් අඳුරු වී යයි,
තරු ද තවදුරටත් නො බැබළේ.
16 ස්වාමින්වහන්සේ සියොන් පුර සිට ගර්ජනා කරන සේක.
යෙරුසලමේ සිට ගිගුරුම් හඬ නගන සේක.
පොළොව ද අහස ද වෙවුලා යන්නේ ය.
එහෙත්, උන්වහන්සේගේ ජනයාට ස්වාමින්වහන්සේ සරණස්ථානයකි;
ඉශ්‍රායෙල් ජනතාවට බළකොටුවකි.
දෙවියන්වහන්සේගේ ජනතාවගේ භාග්‍යය
17“සියොන වන මගේ ශුද්ධ කන්දෙහි වාසය කරන,
ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මා වග, එවිට ඔබ දැනගන්නවා ඇත.
යෙරුසලම ශුද්ධවත් වනු ඇත.
යළි කිසි කල විදේශිකයන් එය ආක්‍රමණ නො කරනු ඇත.
18“ඒ දවසේ කඳුකරයෙන් අලුත් මිදි යුෂ වෑස්සෙයි,
හෙල්වලින් කිරි ගලා යයි.
යූදා බිමේ ගිරි කඳුරු අතරින් ජල දහරා ගලා යයි.
ස්වාමින්වහන්සේගේ ගෘහයෙන් දිය උල්පතක් ගලා,
ෂිට්ටීම් මිටියාවතට ජලය සපයයි.
19එහෙත් ඊජිප්තුව පාළුවට යනු ඇත.
ඒදොම් පාළු කාන්තාරයක් වෙයි.
එසේ වන්නේ, ඔවුන් යූදා ජනයාට සැහැසිකම් කරමින්,
ඔවුන්ගේ දේශයෙහි නිදොස් ලේ වගුළ බැවිනි.
20යූදා සදහට ම ද
යෙරුසලම සියලු පරම්පරා දක්වා ද ජනාවාස වනු ඇත.
21මා කමා නො වුණු ඔවුන්ගේ ලේ-අපරාධ#3:21 ලේ-අපරාධ එනම් මා පළි නො ගත් ඔවුන්ගේ ලේ ගැන පළිගන්නෙමි.
මම කමා කරන්නෙමි.”
ස්වාමින්වහන්සේ සියොනෙහි වාසය කරන සේක.

දැනට තෝරාගෙන ඇත:

යෝවෙල් 3: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න