යෝවෙල් 2:2-13

යෝවෙල් 2:2-13 SCV

ඒ දවස කළුවර දවසෙකි; අන්ධකාර දවසෙකි; වලාකුළෙන් බර, ඝන අඳුරු දවසෙකි. කඳුයාය හරහා කළුවර පැතිරෙන්නාක් මෙන්, අති මහත්, බලවත් හමුදාවක් පැමිණේ. පරම්පරා අවුරුදු මුළුල්ලේ ම එවැන්නක් ඉහත කිසි කලෙක නො වූ සේ ම මතු ද කිසි කල නො වන්නේ ය. ඔවුනට පෙරටුවෙන් ගින්න කා දමන්නේ ය, ඔවුනට පිටුපසින් ගිනි දැල් ඇවිළෙන්නේ ය. ඔවුනට පෙරටුවෙන් දේශය ඒදන් උයන වැන්න; ඔවුනට පිටුපසින් එය පාළු කතරකි. කිසිවකුදු ඔවුන්ගෙන් බේරී නො යේ. ඔවුන්ගේ පෙනුම අශ්වයින් බඳු ය. අශ්ව බළ ඇණියක් මෙන් ඔවුහු පිම්මේ දුවති. යුද්ධ රථවල වැනි ඝෝෂාවෙන් යුතු ව, කඳු මුදුන් පිට ඔවුහු පැන පැන යන්නේ, ඉපනැලි දවමින් පැතිරෙන ගින්නේ ශබ්දය මෙනි; සටනට පෙළ ගැසුණු බල සේනාවක් මෙනි. ඔවුන් දැකුමෙන් ජාතීහු ගාවිනා විඳිති. හැම මුහුණක් ම සුදුමැලි වී යයි. ඔවුන් දිව එන්නේ රණවිරුවන් මෙනි. පුර පවුරු පිට නැග ගන්නේ හේවායින් මෙනි. ඔවුහු තම පෙළ නො කඩා, සියල්ලෝ එක පෙළට ම යති. ඔවුන් එකිනෙකා හා නො ගැටෙමින්, හැමකෙක් ම තමාට හිමි මං-තීරුවේ ඇදෙති. ඔවුහු තම සේනාංක පෙළ නො බිඳ, ආරක්ෂක ආයුධ-ආම්පන්න බිඳගෙන යති. ඔවුහු පුරවරයට කඩා පනිති; පුර පවුර දිගේ දුව යති. ඔවුහු සොරුන් මෙන් කවුළුවලින් පැන, ගෙවලට ද රිංගා ගනිති. ඔවුන් ඉදිරියේ පොළොව සලිත වේ; අහස වෙව්ලුම්කයි. හිරු සඳු අඳුරු කෙරේ; තරු තවත් නො බැබළේ. ස්වාමින්වහන්සේ ස්වකීය හමුදාව ඉදිරියෙන් සිට තම කටහඬ අවදි කරන සේක. උන්වහන්සේගේ සේනා ගණන් නැති තරම් ය. උන්වහන්සේගේ වචනයට කීකරු වන්නෝ බලවන්තයෝ ය. ස්වාමින්වහන්සේගේ දවස මහ බලවත් ය; එය භයංකර ය; එය දරාගත හැක්කේ කවරකුට ද? “දැන්වත්, උපවාසයෙන් ද හැඬීමෙන් ද වැලපීමෙන් ද යුතු ව ඔබේ මුළු හදින් මා වෙත හැරී එන්නැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. ඔබගේ හැඳිවත් නො ව, ඔබගේ හදවත් ඉරාගෙන, ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ වෙත ආපසු එන්න. මන්ද, උන්වහන්සේ දයාන්විත ය; අනුකම්පා සහගත ය; වහා නො කිපෙන සුළු ය; නොමියෙන ප්‍රේමයෙන් අපරිමිත ය; විපත්තිය පැමිණවීමෙහිලා ලිහිල පාන සේක.

යෝවෙල් 2:2-13 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය