යෝබ් 42:7-17

යෝබ් 42:7-17 SCV

ස්වාමින්වහන්සේ යෝබ්ට මේ දෑ කී පසු, තේමානීය එලීෆස් ඇමතූ ස්වාමින්වහන්සේ, “මම ඔබ සමඟත්, ඔබේ මිතුරන් දෙදෙනා සමඟත් කෝපයෙන් සිටිමි. මන්ද මගේ සේවක යෝබ් මෙන් නො ව, නුඹලා මා ගැන හරි ලෙස කතා කළේ නැත. එබැවින් දැන් ගවයන් හත්දෙනකු හා බැටළුවන් හත්දෙනකු ගෙන, මගේ සේවක යෝබ් වෙත ගොස්, නුඹලා උදෙසා දවන යාග පූජාවක් ඔප්පු කරන්න. මගේ සේවක යෝබ් ඔබ උදෙසා යාච්ඤා කරනු ඇත; මම ඔහුගේ යාච්ඤාව පිළිගෙන, නුඹලාගේ මෝඩකමට නිසි විපාකය නුඹලා පිටට නො පමුණුවමි. මන්ද මගේ සේවක යෝබ් මෙන් නො ව, නුඹලා මා ගැන හරි ලෙස කතා කළේ නැතැ” යි පැවසූ සේක. එවිට තේමානීය එලීෆස් ද ෂූහීය බිල්දද් හා නාමාතීය සෝෆර් ද ස්වාමින්වහන්සේ ඔවුන්ට කී පරිදි කළෝ ය. ස්වාමින්වහන්සේ යෝබ්ගේ යාච්ඤාව පිළිගත් සේක. යෝබ් ඔහුගේ මිතුරන් උදෙසා යාච්ඤා කළ පසු ස්වාමින්වහන්සේ භාග්‍යයෙහි ඔහු යළි පිහිටෙවු සේක. කලින් ඔහු සතු ව පැවති දෑ මෙන් දෙගුණයක් ස්වාමින්වහන්සේ ඔහුට දුන් සේක. ඔහුගේ සියලු සහෝදරයෝ හා සහෝදරියෝ ද පෙරදී ඔහු හැඳින සිටි සැවොම ද පැමිණ ඔහුගේ නිවසේදී ඔහු සමඟ අහර ගත්හ. ඔහු පිට ස්වාමින්වහන්සේ පමුණුවා තිබූ ඒ සියලු විපත් ගැන ඔවුහු ඔහු සනසමින් ඔහු අස්වැසූහ. තවද ඒ හැම කෙනෙක් ම ඔහුට රිදී මිලයක් හා රන් මුදුවක් තෑගි කළහ. යෝබ්ගේ ජීවිතයේ ඒ පළමු අදියරට වඩා, මේ පසුකාල අදියරට ස්වාමින්වහන්සේ ආශිර්වාද කළ සේක; ඔහුට බැටළුවන් දහහතර දහසක් ද ඔටුවන් හයදහසක් ද ගව-බාන් දහසක් ද බූරු දෙනුන් දහසක් ද අයත් විය. ඔහුට පුතුන් හත් දෙනෙක් ද දූවරුන් තුන් දෙනෙක් ද වූහ. පළමු දියණිය යෙමීමා යයි ද දෙවැන්නිය කෙසීයා යයි ද තෙවැන්නිය කෙරෙන්-හප්පූක් යයි ද ඔහු නම් තැබී ය. යෝබ්ගේ දූවරුන් තරම් සුරූපී අඟනෝ ඒ මුළු මහත් දේශයේ ම නො වූහ. ඔවුන්ගේ පියා ඔවුන්ගේ සහෝදරයන් අතරේ උරුමයක් ඔවුන්ට ද සලසා දුන්නේ ය. මෙයින් පසුව යෝබ් වසර එකසිය හතළිහක් ආයු විඳ, පුත්‍රයින් ද හතර වන පරම්පරාව දක්වා පුත්‍රයන්ගේ පුත්‍රයින් ද දැක්කේ ය. ඔහු මිය ගියේ සම්පූර්ණ ආයු විඳ වියපත් ව ය.