යෝබ් 28:12-28

යෝබ් 28:12-28 SCV

එහෙත්, කොතැනකින් ද ප්‍රඥාව සොයාගත හැක්කේ? කොතැන ද අවබෝධය තිබෙනා තැන? මිනිසා එහි වටිනාකම නො දනී; ජීවතුන්ගේ දේශයෙහි එය සොයාගත නො හැකි ය. “එය මා තුළ නැතැ” යි ගැඹුර පවසයි. “එය මා සමඟ නැතැ” යි සයුර පවසයි. දඹ රන්වලින් එය මිලයට ගත නො හැකි ය; එහි වටිනාකම රිදීවලින් කිරා නිම කළ නො හැක. ඕෆීර්හි රත්රන්වලින් හෝ අගනා ගෝමේද හෝ ඉඳුනිල් යන මැණික්වලින් හෝ ඒවා මිල කළ නො හැකි ය. රත්රන්වත්, පළිඟුවත් ඊට සම කළ හැකි නො වේ; රන් අබරණවලට ඒවා ගත හැකි නො වේ. හිරිගල් හා සූර්යකාන්ති මැණික් සඳහන් කිරීමටවත් නො වටී; ප්‍රඥාවේ අගය රතු කැටවලටත් ඉහළ ය. කූෂ් දේශයේ පුෂ්පරාග එය හා සසැඳිය නො හැක; අමිශ්‍ර රන්වලින් එහි අගය මිල කළ නො හැකි ය. එසේ නම් ප්‍රඥාව පැමිණෙන්නේ කොතැනක සිට ද? අවබෝධය තිබෙනා තැන කොතැන ද? ජීවත් වන සියල්ලන්ගේ ඇස්වලින් එය සැඟවී තිබේ; අහස් පක්ෂීන්ට පවා එය පෙනෙන්නේ නැත. අබද්දොන් හෙවත් විනාශය හා මරණය පවසන්නේ, “අපේ කන්වලට ඇසී ඇත්තේ ඒ පිළිබඳ කට කතා පමණක් ය” කියා ය. එහි යන මාර්ගය ගැන වැටහීම ඇත්තේ දෙවියන්වහන්සේට ය; එය ඇති තැන දන්නේත් උන්වහන්සේ පමණ ය. මන්ද උන්වහන්සේ පොළොවේ සීමා-මායිම් දක්වා බලන සේක්; අහසින් යට ඇති සියලු දේ දකින සේක. උන්වහන්සේ සුළඟේ ප්‍රවේගය ස්ථාපිත කළ කල, උන්වහන්සේ ජලයට ප්‍රමාණය මැන දුන් කල, උන්වහන්සේ වර්ෂාවට නියෝග දුන් කල, ගිගුරුම් සහිත විදුලි අකුණුවලට මාවත තනා දුන් කල, උන්වහන්සේ ප්‍රඥාව දෙස බලා එහි වටිනාකම තක්සේරු කළ සේක; උන්වහන්සේ එය අනුමත කර, එය පිරික්සා බැලූ සේක. ඉන්පසු උන්වහන්සේ මිනිසා ඇමතූ සේක්, “මෙන්න! ස්වාමින්වහන්සේට භයවීම තමයි ප්‍රඥාව, නපුරෙන් වැළකීම තමයි අවබෝධය” යැයි කී සේක.