යෝබ් 11:1-20
යෝබ් 11:1-20 SCV
එවිට නාමාතීය සෝෆර් උත්තර දෙන්නට වන්නේ ය: “මේ සා වචන රාශියක් උත්තර නො දී හරින්න ද? මිනිසකුගේ මුඛරිකම නිසා ම ඔහු නිවැරදි වේ ද? ඔබගේ ප්රලාප හමුවේ මිනිසුන් ශබ්ද නැතිව සිටින්න ද? නුඹ සමච්චල් කරද්දී කිසිවකු නුඹට තරවටු නො කරාවි ද? ඔබ පවසන්නේ ‘මා අදහන දේ දොසින් තොර ය; ඔබ ඉදිරියේ මා පවිත්ර ය’ කියා ය. අහෝ, දෙවියන්වහන්සේ ඔබට පිළිතුරු දෙන සේක් නම්! ඔබට එරෙහිව උන්වහන්සේ මුව විවර කර, ප්රඥාවේ රහස් ඔබට අනාවරණ කරන්නේ නම්! මන්ද සැබෑ ප්රඥාවට පැති දෙකක් ඇත. මෙය දැනගන්න; දෙවියන්වහන්සේ ඔබගේ ඇතැම් පාප අමතක කර දමා ඇත. “දෙවියන්වහන්සේගේ අබිරහස් ඔබට සොයා දැනගත හැකි ද? සර්ව පරාක්රමයාණන්වහන්සේගේ සීමා ඔබට සෝදිසි කර බැලිය හැකි ද? ඒවා ස්වර්ගවලටත් වඩා ඉහළ ය; මොනවද ඔබට කළ හැක්කේ? ඒවා ෂෙයෝලයේ ගැඹුරටත් වඩා ගැඹුරු ය; මොනවද ඔබට දැනගත හැක්කේ? ඒවායේ පරිමාණය දිගින් මහ පොළොවටත් වැඩි ය; පළලින් මහ මුහුදටත් වැඩි ය. “උන්වහන්සේ පැමිණ ඔබ සිර ගෙදරට නියම කර, උසාවිය ඉදිරියට කැඳවුවහොත්, ඊට එරෙහි විය හැක්කේ කවරකුට ද? වංචාකාර මිනිසුන් කවුරුන්දැයි සැබවින් ම උන්වහන්සේ හැඳින්නාහ; අයුක්තිය දුටු කල උන්වහන්සේ එය සැලකිල්ලට නො ගෙන සිටී ද? වල් බූරු පැටවකුට මිනිසකු ව බිහි විය නො හැකි සේ, අඥාන මිනිසකුට නැණවත් විය නො හැක. “එහෙත් ඔබ ඔබේ හදවත උන්වහන්සේට කැප කර, උන්වහන්සේ වෙතට ඔබේ දෑත් දිගු කරන්නේ නම්, ඔබ අත ඇති පාප ඔබ ඉවත දමා, කිසි නපුරකට ඔබේ කූඩාරමෙහි වාසයට ඉඩ නො දෙන්නේ නම්, එවිට ලජ්ජාවෙන් තොර ව ඔබ මුහුණ ඔසවනු ඇත; බියෙන් තොර ව ඔබ නො සැලී සිටගනු ඇත. සැබවින් ම ඔබට ඔබේ කරදර අමතක ව යනු ඇත; ඒවා සිහිවනු ඇත්තේ බැස ගිය ජලය පරිද්දෙනි. ඔබගේ ජීවිතය මද්දහනටත් වඩා දීප්තිමත් වන්නේ ය; අන්ධකාරය ඔබට උදෑසන මෙන් වන්නේ ය. බලාපොරොත්තුවක් ඇති බැවින් ඔබ සුරක්ෂිත ව සිටිනු ඇත. ඔබ වටපිට විපරම් කර, සුරක්ෂිත ව විවේක ගනු ඇත. කිසිවකුගෙන් බයක් නැතිව ඔබ පහසු ගනු ඇත; බොහෝ දෙනකු ඔබගේ හොඳ හිත පතනු ඇත. එහෙත් දුෂ්ටයින්ගේ ඇස් අඩාල වනු ඇත; පැන යා හැකි මගක් ඔවුනට නො වනු ඇත. ඔවුන්ගේ බලාපොරොත්තුව මරණයේ අවසන් හුස්ම ය.”

