යොහන් 9:35-41
යොහන් 9:35-41 SCV
ඔවුන් ඔහු නෙරපා දැමූ වග යේසුස්වහන්සේට සැල වූ කල ඔහු හමු වූ උන්වහන්සේ, “ඔබ මනුෂ්‍ය පුත්‍රයාණන් තුළ විශ්වාස කරනවා දැ” යි ඇසූ සේක. “මා එතුමාණන් තුළ විශ්වාස කරන්නට එතුමාණන් කවුරු ද මහත්මයා?” යි එවිට ඔහු ඇසුවේ ය. එවිට යේසුස්වහන්සේ, “ඔබ එතුමාණන් දැක තියෙනවා. දැන් ඔබ හා කතා කරන්නේත් එතුමාණන් යැ” යි කී සේක. “ස්වාමිනි, මම විශ්වාස කරමි” යි කියූ ඔහු උන්වහන්සේට නමස්කාර කළේ ය. යේසුස්වහන්සේ කතා කරමින්, “අන්ධ අයට පෙනෙන පිණිසත්, පෙනෙන අය අන්ධ වන පිණිසත් මා මෙලොවට ආවේ විනිශ්චයට යැ” යි පැවසූ සේක. උන්වහන්සේ අසල සිටි පරිසිවරු ඇතැම් දෙනෙක් ඒ අසා, “අපත් අන්ධයින් දැ?” යි ඇසූහ. යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔබ අන්ධ ව සිටියා නම් ඔබ වරදකරුවන් නො වන්නට තිබුණා. එහෙත් ‘අපට පෙනෙනවා’ යි ඔබ කියන නිසා, ඔබගේ වරදකාරකම එසේ ම පවතී” යි පැවසූ සේක.

