යොහන් 9:22-34
යොහන් 9:22-34 SCV
ඔහුගේ දෙමවුපියන් එසේ කීවේ, යුදෙව්වරුන්ට වූ බය නිසා ය. මන්ද යේසුස්වහන්සේ, ක්‍රිස්තුස්වහන්සේ යයි පවසන කවරකු වුවත්, සිනගෝගයෙන් නෙරපා දැමීමට ඒ වන විටත් යුදෙව්වරුන් එකඟ ව සිටි බැවිනි. “ඔහු වයස් පිරුණු කෙනෙක්, ඔහුගෙන් අසන්නැ” යි ඔහුගේ මව් පියන් කීවේ එබැවිනි. එබැවින් අන්ධ ව සිටි මිනිසා දෙවන වතාවට ද කැඳවූ ඔවුහු, “දෙවියන්වහන්සේට මහිමය දෙන්න; මේ මිනිසා පව්කරුවකු වග අප දන්නවා” යි කීහ. ඔහු පිළිතුරු දෙමින්, “ඔහු පව්කරුවකු ද නැද්ද කියා මා දන්නේ නෑ. එනමුත් මා එකක් දන්නවා. මා අන්ධ ව සිටියා. දැන් මට පෙනෙනවා” යි කීවේ ය. එවිට ඔවුහු ඔහු අමතා, “මොනවද ඔහු නුඹට කළේ? ඔහු නුඹේ ඇස් පෑදුවේ කොහොම දැ?” යි ඇසූහ. ඔහු පිළිතුරු දෙමින්, “වතාවක් මා ඔබට කීවා; ඔබ සවන් දෙන්නේ නෑ. ආයෙත් එය අහන්නට ඔබට වුවමනා මොකද? ඔබටත් එතුමාගේ ගෝලයින් වෙන්නට ඕනෑ දැ?” යි ඇසී ය. එවිට ඔවුහු ඔහුට අපහාස කරමින්, “නුඹයි ඔහුගේ ගෝලයා, අපි මෝසෙස්ගේ ගෝලයෝයි. දෙවියන්වහන්සේ මෝසෙස්ට කතා කළ වග අප දන්නවා. එනමුත් මේ මිනිසා කොහෙන් ආවා ද කියලවත් අප දන්නේ නැතැ” යි කීහ. ඒ මිනිසා පිළිතුරු දෙමින්, “ඇයි, ඒක හරි පුදුමයක්! ඔහු එන්නේ කොහෙන් ද කියා ඔබ දන්නේ නෑ! ඒත් එතුමා මගේ ඇස් විවර කළා. දෙවියන්වහන්සේ පව්කරුවන්ට කන් දෙන්නේ නැති වග අප දන්නවා. එහෙත් දෙවියන්වහන්සේට නමස්කාර කරන කෙනෙක් උන්වහන්සේගේ කැමැත්ත කරනවා ද, දෙවියන්වහන්සේ ඔහුට සවන් දෙන වග අප දන්නවා. අන්ධ ව උපන් මිනිසකුගේ ඇස් විවර කිරීමක් ගැන ලෝකය පටන් ගැන්මේ සිට කිසි දා නෑසූ දෙයක්. මෙතුමා දෙවියන්වහන්සේගෙන් නො වේ නම්, ඔහුට කළ හැකි දෙයක් නැතැ” යි කීවේ ය. ඔවුහු ඊට පිළිතුරු දෙමින්, “නුඹ අන්ත පාපයේ උපන් කෙනෙක්; නුඹ එනව ද අපට උගන්වන්නැ” යි කියා, ඔහු පිටතට පන්නා දැමූහ.

