යොහන් 8:49-59

යොහන් 8:49-59 SCV

යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මට ඇති යක්ෂාත්මයක් නැහැ; එහෙත් මම මගේ පියාණන්වහන්සේට ගෞරව කරන්නෙමි. නුඹලා මට කරන්නේ අගෞරවයකි. එසේ වුවත් මා මගේ ම මහිමය සොයන්නේ නැත. එහෙත් එය සොයන කෙනෙක් ඇත; විනිශ්චයකරුවාණෝ උන්වහන්සේයි. සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, මගේ වචනය පිළිපදින කෙනකු වේ ද, කිසි කල ඔහු මරණය දකින්නේ නැතැ” යි පැවසූ සේක. එවිට යුදෙව්වරු, “ඔබට යක්ෂාත්මයක් වැහිලා ය කියා දැන් අප දන්නවා. ආබ්‍රහම් මියැදුණා; දිවැසිවරුන් ද එසේමයි. එහෙත් ඔබ කියන්නේ, ඔබේ වචන පිළිපදින්නා කිසි කල මරණය විඳින්නේ නැත කියායි. අපේ පියාණන් වූ ආබ්‍රහම්ටත් වඩා ඔබ උත්තමයෙක් ද? ඔහු මියැදුණා; දිවැසිවරුන් ද මියැදුණා. ඔබ කියන්නේ ඔබ කවුරුන් කියා දැ?” යි උන්වහන්සේට කීහ. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මා විසින් ම මා මහිමයට පත් කර ගන්නවා නම්, මගේ ඒ මහිමයේ වටිනාකමක් නැහැ. මා මහිමයට පමුණුවන්නේ ඔබ ඔබගේ දෙවියන්වහන්සේ යයි කියන මගේ පියාණන්වහන්සේයි. ඔබ උන්වහන්සේ දන්නේ නැති නමුත්, මා උන්වහන්සේ දන්නවා. මා උන්වහන්සේ දන්නේ නැතැයි කීවොත් මාත් ඔබ හා සමාන බොරුකාරයෙක් වේවි. එහෙත් මා උන්වහන්සේ දන්නවා. උන්වහන්සේගේ වචනය ද මා රක්ෂා කරනවා. ඔබේ පියා වූ ආබ්‍රහම් මගේ දවස දකින්නට සිටියේ ප්‍රීතියෙන්; ඔහු එය දැක ප්‍රමෝදයට පත් වී යැ” යි කීවේ ය. “ඔබට තවම අවුරුදු පනහක්වත් නැහැ; ඔබ ආබ්‍රහම් දුටුවා දැ?” යි එවිට යුදෙව්වරු උන්වහන්සේගෙන් ඇසූහ. යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, ආබ්‍රහම් සිටින්නටත් පෙර සිට මම සිටිමි” යි පැවසූ සේක. එවිට ඔවුහු උන්වහන්සේට දමා ගසන පිණිස, ගල් හවුළා ගත්හ. එහෙත් යේසුස්වහන්සේ මුවා වී, දේව මාලිගාවෙන් පිට ව ගිය සේක.