යොහන් 7:25-31

යොහන් 7:25-31 SCV

මේ නිසා යෙරුසලම් වාසී ඇතමෙක් අදහස් දක්වමින්, “ඔවුන් මරන්නට සොයන්නේ මේ මිනිසා නො වේ ද? මෙන්න, ඔහු එළිපිට ම කතා කරයි. ඒත් කෝ! කිසිවෙක් ඔහුට කිසිවක් කියන්නේ නෑ. මෙතුමා ක්‍රිස්තුස්වහන්සේ වග අධිකාරීන් සැබෑවට ම දැනගෙනවත් ද? මොහු ආවේ කොහෙන් දැයි අප දන්නවා. එහෙත් ක්‍රිස්තුස්වහන්සේ පැමිණියාම උන්වහන්සේ කොහි සිට එනවා ද කියා කිසිවකුත් දන්නේ නැතැ” යි කීහ. දේව මාලිගාවේ උගන්වමින් සිටි යේසුස්වහන්සේ උස් හඬ නගමින්, “ඔබ මා දන්නවා; මා ආවේ කොහේ සිටදැයි ඔබ දන්නවා. මා ආවේ මගේ ම කැමැත්තෙන් නො වෙයි. මා එවූ තැනැන්වහන්සේ සත්‍යයයි. ඔබ උන්වහන්සේ හඳුනන්නේ නැහැ. එහෙත් මා උන්වහන්සේ හඳුනනවා. මන්ද මා එන්නේ උන්වහන්සේ වෙතින්; මා එවුවේ උන්වහන්සේ යැ” යි කී සේක. එවිට ඔවුහු උන්වහන්සේ අල්ලා ගැනීමට තැත් දැරූ නමුදු, කිසිවකුත් උන්වහන්සේට අත තැබුවේ නැත. මන්ද උන්වහන්සේගේ පැය තවම පැමිණ තිබුණේ නැත. එසේ වුව ද බොහෝ දෙනෙක් උන්වහන්සේ තුළ විශ්වාසය තැබූහ. ඔවුහු කතා කරමින්, “ක්‍රිස්තුස්වහන්සේ පැමිණියාම මේ මිනිසා කරනවාටත් වඩා අනුහස් ලකුණු කරාවි දැ?” යි කීහ.