යොහන් 7:14-46
යොහන් 7:14-46 SCV
මංගල්‍යය මැද හරියේදී, දේව මාලිගාවට පිවිසුණු යේසුස්වහන්සේ උගන්වන්නට පටන් ගත් සේක. යුදෙව්වරු මවිත ව, “කිසි දා ඉගෙන ගත්තේ නැති මේ මිනිහාට මේ දැනුම කොයින් දැ!” යි කීහ. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මගේ ඉගැන්වීම් මගේ ම නො වෙයි; මා එවූ තැනැන්වහන්සේගෙයි. මේ ඉගැන්වීම් දෙවියන්වහන්සේගෙන් පැමිණි ඒවා ද, නැති නම් මා මගේ ම අධිකාරිත්වයෙන් කතා කරනවා ද යන්න දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්නට කැමති කෙනකු දැනගනු ඇත. තමාගේ ම මතය කතා කරන්නා, තමාගේ ම ගෞරවය සොයයි. එහෙත් තමා එවූ තැනැන්වහන්සේගේ ගෞරවය සොයන්නා සත්‍යමය කෙනෙක්. ඔහු තුළ ව්‍යාජත්වයක් නැහැ. මෝසෙස් ඔබට නීති සංග්‍රහයක් දුන්නේ නැද්ද? එහෙත් ඔබ කිසිවකුත් ඒ නීති පිළිපදින්නේ නැහැ. ඔබ මා මරන්ට හදන්නේ මොක දැ?” යි ඇසූ සේක. “ඔබට යක්ෂාත්මයක් වැහිලා; කවුරු ද ඔබ මරන්ට සොයන්නේ?” යි සමූහයා එවිට පිළිතුරු දුන්හ. යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “මා එක් ක්‍රියාවක් කළා; ඔබ හැම එයින් මවිත වෙලා. මෝසෙස් ඔබට චර්ම-ඡේදනය දී තිබෙනවා. (ඇත්තෙන් ම එය මෝසෙස්ගෙන් නො ව ආදි පියවරුන්ගෙන්.) ඔබ සබතේදී කෙනකු චර්මඡේද කරයි. මෝසෙස්ගේ නීතිය කඩ නො වන සේ සබත් දවසේ මිනිසකු චර්මඡේද කළ හැකි නම්, සබත් දවසේ මිනිසකු මුළුමනින් සුව කිරීම ගැන මා සමඟ උරණ වන්නේ මොකද? පෙනෙන්නට ඇති දෙයින් විනිශ්චය නො කරනු; විනිශ්චය සාධාරණ ව කරනු” යි පැවසූ සේක. මේ නිසා යෙරුසලම් වාසී ඇතමෙක් අදහස් දක්වමින්, “ඔවුන් මරන්නට සොයන්නේ මේ මිනිසා නො වේ ද? මෙන්න, ඔහු එළිපිට ම කතා කරයි. ඒත් කෝ! කිසිවෙක් ඔහුට කිසිවක් කියන්නේ නෑ. මෙතුමා ක්‍රිස්තුස්වහන්සේ වග අධිකාරීන් සැබෑවට ම දැනගෙනවත් ද? මොහු ආවේ කොහෙන් දැයි අප දන්නවා. එහෙත් ක්‍රිස්තුස්වහන්සේ පැමිණියාම උන්වහන්සේ කොහි සිට එනවා ද කියා කිසිවකුත් දන්නේ නැතැ” යි කීහ. දේව මාලිගාවේ උගන්වමින් සිටි යේසුස්වහන්සේ උස් හඬ නගමින්, “ඔබ මා දන්නවා; මා ආවේ කොහේ සිටදැයි ඔබ දන්නවා. මා ආවේ මගේ ම කැමැත්තෙන් නො වෙයි. මා එවූ තැනැන්වහන්සේ සත්‍යයයි. ඔබ උන්වහන්සේ හඳුනන්නේ නැහැ. එහෙත් මා උන්වහන්සේ හඳුනනවා. මන්ද මා එන්නේ උන්වහන්සේ වෙතින්; මා එවුවේ උන්වහන්සේ යැ” යි කී සේක. එවිට ඔවුහු උන්වහන්සේ අල්ලා ගැනීමට තැත් දැරූ නමුදු, කිසිවකුත් උන්වහන්සේට අත තැබුවේ නැත. මන්ද උන්වහන්සේගේ පැය තවම පැමිණ තිබුණේ නැත. එසේ වුව ද බොහෝ දෙනෙක් උන්වහන්සේ තුළ විශ්වාසය තැබූහ. ඔවුහු කතා කරමින්, “ක්‍රිස්තුස්වහන්සේ පැමිණියාම මේ මිනිසා කරනවාටත් වඩා අනුහස් ලකුණු කරාවි දැ?” යි කීහ. උන්වහන්සේ ගැන ජනයා කසුකුසුවෙන් කී ඒ දෑ පරිසිවරුන්ට ඇසුණි. නායක පූජකවරු හා පරිසිවරු උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට දේව මාලිග මුර සෙබළුන් යැවූහ. එවිට යේසුස්වහන්සේ කතා කරමින්, “තව ටික කලක් මා ඔබ අතරේ ඉන්නවා. ඉන්පසු මා එවූ තැනැන්වහන්සේ වෙත මා යනවා. ඔබ මා සොයනු ඇත. එහෙත් ඔබට මා හමුවන්නේ නැත. මා සිටින තැනට එන්නට ඔබට නුපුළුවනැ” යි පැවසූ සේක. යුදෙව්වරු එකිනෙකාට කතා කරමින්, “මේ මිනිසා සිතා සිටින්නේ අපට සොයා ගන්නට බැරි ලෙස කොහේ යන්නට ද? ග්‍රීක්වරුන් අතර විසුරුවනු ලැබූවන් වෙත ගොස්, ග්රීකවරුන්ට උගන්වන්නට අදහස් කරනවා ද? ‘ඔබ මා සොයනු ඇත. එනමුත් ඔබට මා හමුවන්නේ නැත’ කියා හා ‘මා සිටින තැනට එන්නට ඔබට නුපුළුවන’ කියා කීමෙන් ඔහු අදහස් කරන්නේ කුමක් දැ?” යි ඇසූහ. මංගල්‍යයේ අවසාන දවස වන වැදගත් ම දවසේ නැගී සිටි යේසුස්වහන්සේ මහ හඬින් කතා කරමින්, “යම් කෙනකුට පිපාස ද, ඔහු මා වෙත ඇවිත් පානය කරත්වා! මා තුළ විශ්වාස කරන කවරකු වුව ද ශුද්ධ ලියවිල්ලේ සඳහන් පරිදි, ඔහුගේ හද තුළින් ජීවන ගංගා ගලා යන්නේ යැ” යි පැවසූ සේක. උන්වහන්සේ ඉන් අදහස් කළේ, උන්වහන්සේ තුළ විශ්වාසය තැබූ අය මතු ලබන්නට සිටි ආත්මයාණන් ගැන ය. ඒ වන තෙක් ආත්මයාණන් දෙනු ලැබ තිබුණේ නැත. මන්ද තවමත් යේසුස්වහන්සේ මහිමයට පමුණු වන ලද්දේ නැත. ඒ ඇසූ ජනයාගෙන් ඇතැම් දෙනෙක්, “නිසැකයෙන් ම මේ දිවැසිවරයා යැ” යි කීහ. අන් සමහරු, “මේ නම් ක්‍රිස්තුස්වහන්සේ යැ” යි කීහ. තවත් අය, “ක්‍රිස්තුස්වහන්සේ ගලීලයෙන් ඒ ද? ක්‍රිස්තුස්වහන්සේ පැමිණෙන්නේ දාවිත්ගේ වංශයෙන් බවත්, දාවිත් සිටි ගම වන බෙත්ලෙහෙමෙන් බවත් ශුද්ධ ලියවිල්ල කියනවා නො වේ දැ?” යි ඇසූහ. මෙසේ එහි උන්වහන්සේ ගැන ජනයා අතරේ බෙදීමක් ඇති විය. උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට ඇතැම් දෙනකුට ඕනෑ වුව ද, කිසිවකුත් උන්වහන්සේට අත තැබුවේ නැත. දේව මාලිග මුර සෙබළුන් ආපසු නායක පූජකවරුන් හා පරිසිවරුන් වෙත ආ කල, “නුඹලා ඔහු නො ගෙනාවේ මන්දැ?” යි ඔවුහු ඇසූහ. දේව මාලිග මුර සෙබළු පිළිතුරු දෙමින්, “මේ මනුෂ්‍යයා කතා කරන විදියට කිසිවෙක් කිසි කලෙක කතා කර නැතැ” යි කීහ.

