යොහන් 7:10-17

යොහන් 7:10-17 SCV

කෙසේ වෙතත් තම සහෝදරයින් මංගල්‍යයට පිටත් ව ගිය පසු, උන්වහන්සේ ද ප්‍රසිද්ධියේ නො ව, රහසින් මෙන් එහි ගිය සේක. මේ අතර යුදෙව්වරු මංගල්‍යයේදී උන්වහන්සේ සොයමින්, “කෝ ඔහු කොහේ දැ?” යි කීවෝ ය. ජනයා අතරේ උන්වහන්සේ පිළිබඳ මහ කසුකුසුවක් හට ගත්තේ ය. “ඔහු සත්පුරුෂයෙකැ” යි සමහරු කී අතර, “නැත, ඔහු ජනයා මුළා කරන්නෙකැ” යි අන් සමහරු කීහ. එහෙත් යුදෙව්වරුන්ට ඇති බය නිසා කිසිවකුත් උන්වහන්සේ ගැන එළිපිට කතා කළේ නැත. මංගල්‍යය මැද හරියේදී, දේව මාලිගාවට පිවිසුණු යේසුස්වහන්සේ උගන්වන්නට පටන් ගත් සේක. යුදෙව්වරු මවිත ව, “කිසි දා ඉගෙන ගත්තේ නැති මේ මිනිහාට මේ දැනුම කොයින් දැ!” යි කීහ. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මගේ ඉගැන්වීම් මගේ ම නො වෙයි; මා එවූ තැනැන්වහන්සේගෙයි. මේ ඉගැන්වීම් දෙවියන්වහන්සේගෙන් පැමිණි ඒවා ද, නැති නම් මා මගේ ම අධිකාරිත්වයෙන් කතා කරනවා ද යන්න දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්නට කැමති කෙනකු දැනගනු ඇත.