යොහන් 6:59-71

යොහන් 6:59-71 SCV

යේසුස්වහන්සේ මේ දෑ පැවසුවේ කපර්ණවුම්හි සිනගෝගයේ උගන්වමින් සිටියදී ය. ඒ ඇසූ උන්වහන්සේගේ ගෝලයන්ගෙන් බොහෝ දෙනෙක්, “මේක මහ තද කියමනක්. ඕවා අහන්න පුළුවන් කවුරුන්ට දැ?” යි කීහ. තම ගෝලයින් ඒ ගැන මැසිවිලි නගන වග තමා තුළ දැනගත් යේසුස්වහන්සේ, “කිම ද? ඔබටත් මෙය පැකිළීමක් ද? එසේ නම් මනුෂ්‍ය පුත්‍රයා පෙර සිටි තැනට නැගී යනවා ඔබ දුටුවොත් කොහොම ද? ජීවනය දෙන්නේ ආත්මයාණෝයි. මාංසය ප්‍රයෝජනවත් නො වේ. මා ඔබට පැවසූ වචන ආත්මය හා ජීවනයයි. එනමුත් ඔබගෙන් ඇතමෙක් විශ්වාස කරන්නේ නැතැ” යි කී සේක. මන්ද විශ්වාස නො කරන්නේ කවුරු ද, තමා පාවා දෙන්නේ කවුරු ද යන්න යේසුස්වහන්සේ මුල පටන් ම දැන සිටි බැවිනි. උන්වහන්සේ කතා කරමින්, “මේ නිසයි මා ඔබට කීවේ, මගේ පියාණන්වහන්සේගෙන් අනුමැතිය ලැබූ කෙනකුට මිස, කිසිවකුටත් මා වෙත එන්නට නො හැකි ය කියා” යි පැවසූ සේක. මේ නිසා උන්වහන්සේගේ ගෝලයින් බොහෝ දෙනෙක් ආපසු හැරී ගියෝ තවදුරටත් උන්වහන්සේ සමඟ ගමන් නො කළහ. යේසුස්වහන්සේ දොළොස් දෙනා අමතමින්, “ඔබටත් ඒ වගේ හැරී යන්නට ඕනෑ දැ?” යි ඇසූ සේක. සීමොන් පේතෘස් උන්වහන්සේට පිළිතුරු දෙමින්, “ස්වාමිනි, අප කවුරු ළඟට යන්න ද? සදාතන ජීවනයේ වචන ඇත්තේ ඔබටයි. දෙවියන්වහන්සේගේ ශුද්ධ තැනැත්තාණෝ ඔබ බව අපි විශ්වාස කර ගෙන සිටිමු; අපි එය දනිමු” යි පැවසී ය. එවිට යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ දොළොස් දෙනා තෝරා ගත්තේ මා නො වේ ද? එනමුත් ඔබෙන් කෙනෙක් යක්ෂයෙකැ” යි කී සේක. එසේ කීවේ සීමොන් ඉස්කාරියොත්ගේ පුත්‍ර යූදස් ගැන ය. දොළොස් දෙනාගෙන් කෙනකු වූ නමුත්, පසුව උන්වහන්සේ පාවා දෙන්නට සිටියේ ඔහු ය.