යොහන් 6:43-69

යොහන් 6:43-69 SCV

“ඔබ අතරේ ඔය මැසිවිල්ල නවතන්නැ” යි පිළිතුරු දුන් යේසුස්වහන්සේ, “මා එවූ පියාණන්වහන්සේ විසින් ඇද ගනු ලබන කෙනකුට මිස, අන් කිසිවකුටත් මා වෙත ආ නො හැකියි. අවසාන දවසේදී මම ඔහු නැගිටුවන්නෙමි. ‘ඔබගේ පුතුන් සැවොම දෙවියන්වහන්සේ විසින් උගන්වනු ලබතියි’ දිවැසිවරුන් ලියා තියේ. පියාණන්වහන්සේට සවන් දුන්, උන්වහන්සේගෙන් ඉගෙන ගත් හැම කෙනෙක් ම මා වෙත එත්මැයි. දෙවියන්වහන්සේගෙන් වූ තැනැත්තා හැර, අන් කිසිවකු පියාණන්වහන්සේ දැක නැත. උන්වහන්සේ පියාණන්වහන්සේ දැක ඇත. සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, විශ්වාස කරන්නාට සදාතන ජීවනය ලැබෙන බවයි. ජීවනදායක රොටි මමයි. ඔබේ පියවරු පාළුකරයේදී මන්නා කෑ නමුත්, ඔවුහු ද නැසී ගියහ. කෙනකු එයින් කෑමෙන් පසු, නො නසින පිණිස, ස්වර්ගයෙන් බැස ආ රොටි මෙන්න; ස්වර්ගයෙන් බැස ආ ජීවනදායක රොටි මමයි. යම් කෙනෙක් මේ රොටි කෑවොත් ඔහු සදහට ජීවත් වෙයි. ලෝකයාගේ ජීවනය සඳහා මා දෙන රොටි මගේ මාංස යැ” යයි ප්‍රකාශ කළ සේක. එවිට ඔවුනොවුන් අතරේ තර්ක කරන්නට පටන් ගත් යුදෙව්වරු, “කොහොම ද මේ මිනිහා අපට ඔහුගේ මාංස කන්නට දෙන්නේ?” යි පවසන්නට වූහ. යේසුස්වහන්සේ ඔවුන්ට කතා කරමින්, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ මාංස කෑවොත් මිස, උන්වහන්සේගේ ලෙය බීවොත් මිස, ඔබ තුළ ජීවනය නැත. මගේ මාංසය කන හා මගේ රුධිරය බොන කවරකුට වුවත්, සදාතන ජීවනය ලැබෙයි. අවසාන දවසේ මම ඔහු නැගිටුවන්නෙමි. මන්ද අව්‍යාජ ආහාරය මගේ මාංසයයි; අව්‍යාජ පානය මගේ රුධිරයයි. මගේ මාංසය ආහාරයට ගන්නා තැනැත්තා, මගේ රුධිරය පානයට ගන්නා තැනැත්තා, මා තුළ පවතී. මමත් ඔහු තුළ පවතින්නෙමි. ජීවමාන පියාණන්වහන්සේ මා එවූ සේ ම, පියාණන්වහන්සේ නිසා මා ජීවත් වන්නේ යම් සේ ද, මගෙන් පෝෂ්‍ය වන්නා මා නිසා ජීවත් වෙයි. ස්වර්ගයෙන් බැස ආ රොටි මෙයයි; ඔබේ පියවරු මන්නා කෑහ; ඔවුහු මළහ. එහෙත් මේ රොටි ආහාරයට ගන්නා තැනැත්තා සදාතනික ව ජීවත් වේ යැ” යි පැවසූ සේක. යේසුස්වහන්සේ මේ දෑ පැවසුවේ කපර්ණවුම්හි සිනගෝගයේ උගන්වමින් සිටියදී ය. ඒ ඇසූ උන්වහන්සේගේ ගෝලයන්ගෙන් බොහෝ දෙනෙක්, “මේක මහ තද කියමනක්. ඕවා අහන්න පුළුවන් කවුරුන්ට දැ?” යි කීහ. තම ගෝලයින් ඒ ගැන මැසිවිලි නගන වග තමා තුළ දැනගත් යේසුස්වහන්සේ, “කිම ද? ඔබටත් මෙය පැකිළීමක් ද? එසේ නම් මනුෂ්‍ය පුත්‍රයා පෙර සිටි තැනට නැගී යනවා ඔබ දුටුවොත් කොහොම ද? ජීවනය දෙන්නේ ආත්මයාණෝයි. මාංසය ප්‍රයෝජනවත් නො වේ. මා ඔබට පැවසූ වචන ආත්මය හා ජීවනයයි. එනමුත් ඔබගෙන් ඇතමෙක් විශ්වාස කරන්නේ නැතැ” යි කී සේක. මන්ද විශ්වාස නො කරන්නේ කවුරු ද, තමා පාවා දෙන්නේ කවුරු ද යන්න යේසුස්වහන්සේ මුල පටන් ම දැන සිටි බැවිනි. උන්වහන්සේ කතා කරමින්, “මේ නිසයි මා ඔබට කීවේ, මගේ පියාණන්වහන්සේගෙන් අනුමැතිය ලැබූ කෙනකුට මිස, කිසිවකුටත් මා වෙත එන්නට නො හැකි ය කියා” යි පැවසූ සේක. මේ නිසා උන්වහන්සේගේ ගෝලයින් බොහෝ දෙනෙක් ආපසු හැරී ගියෝ තවදුරටත් උන්වහන්සේ සමඟ ගමන් නො කළහ. යේසුස්වහන්සේ දොළොස් දෙනා අමතමින්, “ඔබටත් ඒ වගේ හැරී යන්නට ඕනෑ දැ?” යි ඇසූ සේක. සීමොන් පේතෘස් උන්වහන්සේට පිළිතුරු දෙමින්, “ස්වාමිනි, අප කවුරු ළඟට යන්න ද? සදාතන ජීවනයේ වචන ඇත්තේ ඔබටයි. දෙවියන්වහන්සේගේ ශුද්ධ තැනැත්තාණෝ ඔබ බව අපි විශ්වාස කර ගෙන සිටිමු; අපි එය දනිමු” යි පැවසී ය.