යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, ස්වර්ගයෙන් ඔබට රොටි දුන්නේ මෝසෙස් නො වන බවයි; ස්වර්ගයේ සිට සැබෑ වූ රොටි ඔබට දෙන්නේ මගේ පියාණන්වහන්සේයි. මන්ද දෙවියන්වහන්සේගේ රොටි නම්, ස්වර්ගයෙන් බැස ආවා වූ, ලෝකයට ජීවනය දෙන තැනැත්තාණන් යැ” යි පැවසූ සේක.
එවිට ඔවුහු, “හැම විට අපට ඒ රොටි දෙන්න මැතිඳුනි” යි පැවසූහ.
එවිට යේසුස්වහන්සේ, “ජීවනදායක රොටි මමයි; මා වෙත එන කවරකුට වුවත්, කිසි කල සාගිනි නො වේ. මා අදහා ගන්නා කවරකුට වුවත්, කිසි කල පිපාස නො වේ. එනමුත් මා ඔබට කී ලෙස ඔබ මා දුටුවහ; එහෙත් ඔබ මා අදහා ගන්නේ නැත. පියාණන්වහන්සේ මට දෙන සැවොම මා කරා එන්නෝ ය; මා වෙත එන කවරකු වුවත් කිසි කල මා ඉවත දමන්නේ නැත. මන්ද ස්වර්ගයෙන් බැස මා ආවේ, මගේ ම කැමැත්ත කරන්නට නො ව මා එවූ තැනැන්වහන්සේගේ කැමැත්ත ඉටු කරන්නටයි. මා එවූ තැනැන්වහන්සේගේ කැමැත්ත මෙයයි; උන්වහන්සේ මට දුන් සියල්ලන්ගෙන් එක් කෙනකුවත් නැති කර නො ගෙන, අවසන් දවසේ ඔවුන් නැගිටුවීමයි. මන්ද මගේ පියාණන්වහන්සේ කැමැත්ත නම්, ස්වකීය පුත්රයාණන් දෙස බලා, උන්වහන්සේ අදහා ගන්න හැම කෙනකු ම සදාතන ජීවනය ලැබීමයි. අවසාන දවසේදී මම ඔහු නැගිටුවන්නෙමි” යි පැවසූ සේක.
මෙවිට, “ස්වර්ගයෙන් බැස ආ රොටි මම යැ” යි උන්වහන්සේ කී බැවින්, යුදෙව්වරු උන්වහන්සේ ගැන මැසිවිලි නගමින්, “මේ යේසුස්, අර යෝසෙප්ගේ පුතා නො වේ ද? මොහුගේ පියාත් මවත් අප හඳුනද්දී මොහු ස්වර්ගයෙන් බැස ආවා ය කියන්නේ කොහොම දැ?” යි පවසන්නට වූහ.
“ඔබ අතරේ ඔය මැසිවිල්ල නවතන්නැ” යි පිළිතුරු දුන් යේසුස්වහන්සේ, “මා එවූ පියාණන්වහන්සේ විසින් ඇද ගනු ලබන කෙනකුට මිස, අන් කිසිවකුටත් මා වෙත ආ නො හැකියි. අවසාන දවසේදී මම ඔහු නැගිටුවන්නෙමි. ‘ඔබගේ පුතුන් සැවොම දෙවියන්වහන්සේ විසින් උගන්වනු ලබතියි’ දිවැසිවරුන් ලියා තියේ. පියාණන්වහන්සේට සවන් දුන්, උන්වහන්සේගෙන් ඉගෙන ගත් හැම කෙනෙක් ම මා වෙත එත්මැයි. දෙවියන්වහන්සේගෙන් වූ තැනැත්තා හැර, අන් කිසිවකු පියාණන්වහන්සේ දැක නැත. උන්වහන්සේ පියාණන්වහන්සේ දැක ඇත. සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, විශ්වාස කරන්නාට සදාතන ජීවනය ලැබෙන බවයි. ජීවනදායක රොටි මමයි. ඔබේ පියවරු පාළුකරයේදී මන්නා කෑ නමුත්, ඔවුහු ද නැසී ගියහ. කෙනකු එයින් කෑමෙන් පසු, නො නසින පිණිස, ස්වර්ගයෙන් බැස ආ රොටි මෙන්න; ස්වර්ගයෙන් බැස ආ ජීවනදායක රොටි මමයි. යම් කෙනෙක් මේ රොටි කෑවොත් ඔහු සදහට ජීවත් වෙයි. ලෝකයාගේ ජීවනය සඳහා මා දෙන රොටි මගේ මාංස යැ” යයි ප්රකාශ කළ සේක.