යොහන් 6:26-40

යොහන් 6:26-40 SCV

යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, ඔබ මා සොයන්නේ, අනුහස් ලකුණු දුටු නිසා නො ව, රොටි කෑමෙන් සෑහීමට පත් වූ නිසයි. දිරා ජරාවට යන ආහාර සඳහා නො වෙහෙසී, මනුෂ්‍ය පුත්‍රයාණන් ඔබට දෙන සදාතන ජීවනයට පවතින ආහාර සඳහා වෙහෙසෙන්න. මන්ද උන්වහන්සේ පිට පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේ තම මුද්‍රාව තබා ඇතැ” යි පැවසූ සේක. එවිට ඔවුහු, “දෙවියන්වහන්සේගේ කාරිය ඉෂ්ට කරන්නට අප කුමක් කළ යුතු දැ?” යි උන්වහන්සේගෙන් විමසූහ. යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “දෙවියන්වහන්සේගේ කාරිය මෙයයි; උන්වහන්සේ එවූ තැනැත්තාණන් ඔබ අදහා ගැනීමයි” කී සේක. එකල උන්වහන්සේ ඇමතූ ඔවුහු, “හොඳයි, කවර අනුහස් ලකුණක් ද ඔබ ගෙන හැර පාන්නේ, අප එය දැක බලා, ඔබ අදහා ගැනීමට? කුමක් ද ඔබ කර පෙන්වන්නේ? අපේ පියවරුන් පාළුකරයේදී මන්නා කෑවේ, ‘ආහාර පිණිස උන්වහන්සේ ඔවුන්ට ස්වර්ගයෙන් රොටි දුන් සේකැ’ යි ලියා තිබෙන ලෙස යැ” යි පැවසූහ. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, ස්වර්ගයෙන් ඔබට රොටි දුන්නේ මෝසෙස් නො වන බවයි; ස්වර්ගයේ සිට සැබෑ වූ රොටි ඔබට දෙන්නේ මගේ පියාණන්වහන්සේයි. මන්ද දෙවියන්වහන්සේගේ රොටි නම්, ස්වර්ගයෙන් බැස ආවා වූ, ලෝකයට ජීවනය දෙන තැනැත්තාණන් යැ” යි පැවසූ සේක. එවිට ඔවුහු, “හැම විට අපට ඒ රොටි දෙන්න මැතිඳුනි” යි පැවසූහ. එවිට යේසුස්වහන්සේ, “ජීවනදායක රොටි මමයි; මා වෙත එන කවරකුට වුවත්, කිසි කල සාගිනි නො වේ. මා අදහා ගන්නා කවරකුට වුවත්, කිසි කල පිපාස නො වේ. එනමුත් මා ඔබට කී ලෙස ඔබ මා දුටුවහ; එහෙත් ඔබ මා අදහා ගන්නේ නැත. පියාණන්වහන්සේ මට දෙන සැවොම මා කරා එන්නෝ ය; මා වෙත එන කවරකු වුවත් කිසි කල මා ඉවත දමන්නේ නැත. මන්ද ස්වර්ගයෙන් බැස මා ආවේ, මගේ ම කැමැත්ත කරන්නට නො ව මා එවූ තැනැන්වහන්සේගේ කැමැත්ත ඉටු කරන්නටයි. මා එවූ තැනැන්වහන්සේගේ කැමැත්ත මෙයයි; උන්වහන්සේ මට දුන් සියල්ලන්ගෙන් එක් කෙනකුවත් නැති කර නො ගෙන, අවසන් දවසේ ඔවුන් නැගිටුවීමයි. මන්ද මගේ පියාණන්වහන්සේ කැමැත්ත නම්, ස්වකීය පුත්‍රයාණන් දෙස බලා, උන්වහන්සේ අදහා ගන්න හැම කෙනකු ම සදාතන ජීවනය ලැබීමයි. අවසාන දවසේදී මම ඔහු නැගිටුවන්නෙමි” යි පැවසූ සේක.