යොහන් 6:1-35
යොහන් 6:1-35 SCV
මෙයින් පසු යේසුස්වහන්සේ තිබේරියස් නම් වූ ගලීල මුහුදින් එතෙරට ගිය සේක. උන්වහන්සේ රෝගීන් උදෙසා දක්වා තිබූ අනුහස් ලකුණු දැක තිබූ බැවින් විශාල පිරිසක් උන්වහන්සේ පසු පස ගියහ. කන්දට නැගුණු යේසුස්වහන්සේ තම ගෝලයින් සමඟ වාඩිගත් සේක. යුදෙව්වරුන්ගේ පාස්කු මංගල උත්සවය ළං ව තිබිණි. දෑස් දල්වා බලා විශාල පිරිසක් තමන් වෙත එනු දුටු යේසුස්වහන්සේ පිලිප් අමතා, “මේ ජනකායට කෑමට අප කොහෙන් රොටි මිලට ගන්න දැ?” යි ඇසූ සේක. උන්වහන්සේ එසේ ඇසුවේ ඔහු සෝදිසි කරන අටියෙනි. මන්ද තමන් කරන්නට යන්නේ කුමක් දැයි උන්වහන්සේ දැන සිටි සේක. පිලිප් පිළිතුරු දෙමින්, “එකිනෙකාට ටික ටිකවත් කෑමට, ඩිනාරි දෙසියයක රොටි ගෙනාවත් මදි වේවි” යි කීවේ ය. සීමොන් පේතෘස්ගේ සහෝදර, උන්වහන්සේගේ තවත් ගෝලයකු වූ අන්දෘ උන්වහන්සේ අමතමින්, “යව රොටි පහකුත්, මසුන් දෙදෙනකුත් ඇති ළමයෙක් මෙහි සිටියි. ඒත් මෙතරම් සෙනඟකට එය මක්කරන්න දැ?” යි පැවසී ය. “මිනිසුන් හිඳුවන්නැ” යි යේසුස්වහන්සේ කී සේක. එතැන බෙහෙවින් තණ වැවී තිබිණ. ගණනින් පන්දහසක් පමණ වූ පිරිමි හිඳ ගත්හ. යේසුස්වහන්සේ ඒ රොටි ගත් සේක්, තුති පුදා, එතැන හිඳ සිටි ජනයාට ඒවා බෙදා දුන් සේක. මසුන් ද ඔවුන්ට අවැසි තරම් බෙදූ සේක. මෙසේ ඔවුන් කුස පිරෙන්නට කෑ පසු, තම ගෝලයින් ඇමතූ උන්වහන්සේ, “ඉතිරි වූ කැබලි එකතු කරන්න; කිසිවක් අපතේ නාරින්නැ” යි පැවසූ සේක. එබැවින් ඒ යව රොටි පහෙන් ඔවුන් කා ඉතිරි වූ කැබලි එකතු කළ ඔවුහු ඒවායින් කූඩ දොළහක් පිරවූහ. උන්වහන්සේ පෑ මෙම අනුහස් ලකුණ දුටු ජනයා, “ඇත්තෙන් ම, ලොවට එන්නට සිටින දිවැසිවරයා මෙතුමාණෝ” යි කියන්නට වන්හ. බලහත්කාරයෙන් තමන් රජකමට පත් කර ගන්නට ඔවුන් අර අඳින බව දැනගත් යේසුස්වහන්සේ, හුදකලා වී, යළි කන්දට නැගුණු සේක. සවස් වූ කල උන්වහන්සේගේ ගෝලයෝ බැස, මුහුදට අවුත්, ඔරුවක නැගී, මුහුද හරහා කපර්ණවුම් බලා යාත්‍රා කළහ. අඳුර ද පැතිරෙමින් තිබිණි. ඒ වන තුරුත් යේසුස්වහන්සේ ඔවුන් වෙතට පැමිණ සිටියේ නැත. සැඩ සුළඟක් හමා, මුහුද රළු වන්නට විය. ඔවුහු සැතපුම් තුනක්, හතරක් පමණ ඔරුව පැද වූ පසු, ඔවුන් දුටුවේ යේසුස්වහන්සේ මුහුදු දිය මත ඇවිදිමින් ඔරුවට ළඟා වන අයුරු ය; ඔවුහු ඒ දැක, බය වූහ. එහෙත් උන්වහන්සේ, “මේ මමයි; බය වන්න එපා” යි කී සේක. එවිට උන්වහන්සේ ඔරුවට නංවා ගන්නට ඔවුහු කැමති වූහ. එකෙණෙහි ම, ඔරුව ඔවුන් යන්නට සිටි ගොඩ බිමට සේන්දු විය. පසු දා, මුහුදින් එතෙර නැවතී සිටි සමූහයා දැන සිටියේ එහි වූයේ එක් ඔරුවක් පමණක් බවත්, තම ගෝලයින් සමඟ යේසුස්වහන්සේ ඒ ඔරුවට නැගුණේ නැති බවත්, ගෝලයින් තනි ව ඉවත් ව ගිය බවත් ය. එහෙත් ස්වාමින්වහන්සේ තුති දුන් පසු, ජනයා රොටි කෑ පෙදෙස අසලට එවේලේ තිබේරියස්හි සිට ඔරු කිහිපයක් ළඟා විණි. යේසුස්වහන්සේත්, ගෝලයිනුත් මෙතෙර නොමැති බව වටහා ගත් ජන සමූහයා එම ඔරුවල නැගී, යේසුස්වහන්සේ සොයමින් කපර්ණවුම් බලා ගියහ. මුහුදින් එතෙරදී උන්වහන්සේ හමු වූ කල, ඔවුහු උන්වහන්සේ අමතමින්, “රබ්බී, ඔබතුමා මෙහි ආවේ කොයි වේලේ දැ?” යි ඇසූහ. යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, ඔබ මා සොයන්නේ, අනුහස් ලකුණු දුටු නිසා නො ව, රොටි කෑමෙන් සෑහීමට පත් වූ නිසයි. දිරා ජරාවට යන ආහාර සඳහා නො වෙහෙසී, මනුෂ්‍ය පුත්‍රයාණන් ඔබට දෙන සදාතන ජීවනයට පවතින ආහාර සඳහා වෙහෙසෙන්න. මන්ද උන්වහන්සේ පිට පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේ තම මුද්‍රාව තබා ඇතැ” යි පැවසූ සේක. එවිට ඔවුහු, “දෙවියන්වහන්සේගේ කාරිය ඉෂ්ට කරන්නට අප කුමක් කළ යුතු දැ?” යි උන්වහන්සේගෙන් විමසූහ. යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “දෙවියන්වහන්සේගේ කාරිය මෙයයි; උන්වහන්සේ එවූ තැනැත්තාණන් ඔබ අදහා ගැනීමයි” කී සේක. එකල උන්වහන්සේ ඇමතූ ඔවුහු, “හොඳයි, කවර අනුහස් ලකුණක් ද ඔබ ගෙන හැර පාන්නේ, අප එය දැක බලා, ඔබ අදහා ගැනීමට? කුමක් ද ඔබ කර පෙන්වන්නේ? අපේ පියවරුන් පාළුකරයේදී මන්නා කෑවේ, ‘ආහාර පිණිස උන්වහන්සේ ඔවුන්ට ස්වර්ගයෙන් රොටි දුන් සේකැ’ යි ලියා තිබෙන ලෙස යැ” යි පැවසූහ. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, ස්වර්ගයෙන් ඔබට රොටි දුන්නේ මෝසෙස් නො වන බවයි; ස්වර්ගයේ සිට සැබෑ වූ රොටි ඔබට දෙන්නේ මගේ පියාණන්වහන්සේයි. මන්ද දෙවියන්වහන්සේගේ රොටි නම්, ස්වර්ගයෙන් බැස ආවා වූ, ලෝකයට ජීවනය දෙන තැනැත්තාණන් යැ” යි පැවසූ සේක. එවිට ඔවුහු, “හැම විට අපට ඒ රොටි දෙන්න මැතිඳුනි” යි පැවසූහ. එවිට යේසුස්වහන්සේ, “ජීවනදායක රොටි මමයි; මා වෙත එන කවරකුට වුවත්, කිසි කල සාගිනි නො වේ. මා අදහා ගන්නා කවරකුට වුවත්, කිසි කල පිපාස නො වේ.

