යේසුස්වහන්සේ යොහන්ට වඩා ගෝලයින් දිනා බව්තීස්ම කරතියි පරිසිවරුන්ට සැල විය. (එහෙත් ඇත්තෙන් ම බව්තීස්ම කළෝ යේසුස්වහන්සේ නො ව ගෝලයෝ ය.) උන්වහන්සේ ඒ වග දැන, යුදයෙන් පිට වී, යළි ගලීලයට ගිය සේක.
ඒ ගමන යා යුතු වූයේ සමාරිය මැදිනි. යාකොබ් සිය පුත් යෝසෙප්ට දුන් බිම් කොටස අසල පිහිටි සිකාර් නම් සමාරි නගරයට උන්වහන්සේ පැමිණි සේක. යාකොබ්ගේ ළිඳ එහි විය; ගමනින් විඩාවට පත් ව සිටි යේසුස්වහන්සේ ළිඳ අසල හිඳගත් සේක. ඒ හය වන පැය පමණ විය.
සමාරියේ ස්ත්‍රියක් දිය අදින්නට එහි ආවා ය. ඈ ඇමතූ යේසුස්වහන්සේ, “මට බොන්නට දෙන්නැ” යි කී සේක. උන්වහන්සේගේ ගෝලයෝ කෑම ගෙනෙන්නට කඩ මණ්ඩියට ගොස් සිටියහ.
එවිට සමාරීය ස්ත්‍රිය, “යුදෙව්වකු වූ ඔබ, සමාරීය ළඳක් වන මගෙන් වතුර ඉල්ලන්නේ කොහොම දැ?” යි උන්වහන්සේගෙන් ඇසුවා ය. (ඒ, එකල යුදෙව්වරුන්, සමාරියයන් හා ඇයි-හොඳයියක් නො පැවැත් වූ බැවිනි.)
යේසුස්වහන්සේ ඇය අමතමින්, “දෙවියන්වහන්සේ ඔබට පිළිගන්වන දීමනාව කුමක් ද කියාත්, ඔබෙන් දිය ඉල්ලන්නේ කවුරුන් ද කියාත් ඔබ දැන සිටියා නම්, ඔහුගෙන් ඉල්ලන්නේ ඔබයි. එවිට ඔහු ඔබට ජීවන දිය දෙන්නට තිබුණා” යි කී සේක.
එකල ඈ, “මහත්මයා, කෝ! දිය අදින්නට කිසිවක් ඔබට නැහැ; ළිඳත් ගැඹුරුයි; ඒ ජීවන දිය ඔබ ලබා ගන්නේ කොහෙන් ද? අපේ ආදි පියා වූ යාකොබ්ටත් වඩා ඔබ ශ්‍රේෂ්ඨ ද? මේ ළිඳ අපට දුන්නේ ඔහුයි; ඔහුත් මෙයින් බීවා; ඔහුගේ පුත්‍රයිනුත්, ගව, එළු, බැටළු රංචුත් මෙයින් බීවා” යි කීවා ය.
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මේ වතුර බොන හැම කෙනකුට නැවත පිපාස දැනේ; එනමුත්, මා දෙන දිය බොන කෙනකුට නැවත පිපාසය ඇති නො වේ. මා දෙන දිය බොන ඇත්තන් තුළ සදාතන ජීවන උල්පත් මැවෙන්නේ යැ” යි පැවසූ සේක.
එවිට ඈ, “අනේ මටත් ඒ වතුර දෙන්න; එවිට ආයෙත් මට පිපාස වන්නේවත්, දිය අදින්නට මෙහි එන්නට වන්නේවත් නෑ” යි උන්වහන්සේට කීවා ය.
“ගොසින් ඔබේ ස්වාමිපුරුෂයා කැඳවාගෙන මෙහෙ එන්නැ” යි යේසුස්වහන්සේ කී කල,
“මට ස්වාමි පුරුෂයකු නැතැ” යි ඈ කීවා ය.
එවිට යේසුස්වහන්සේ, “ඔබට ස්වාමි පුරුෂයකු නැති වග ඔබ කීවා හරි; ඇත්ත නම් ඔබට ස්වාමි පුරුෂයන් පස් දෙනකු ම සිටියා; දැන් ඔබ සමඟ සිටින තැනැත්තා ඔබේ ස්වාමිපුරුෂයා නො වේ; ඔබ කී දේ ඇත්තයි” කී සේක.
එවිට උන්වහන්සේ ඇමතූ ඇය, “මහත්මයාණෙනි, ඔබතුමා දිවැසිවරයකු බවයි මට පෙනෙන්නේ; අපේ පියවරුන් නමස්කාර කළේ මේ කන්දෙදීයි. එනමුත් යුදෙව් ඔබ කියන්නේ නමස්කාර කළ යුත්තේ යෙරුසලම්හි දී කියායි” කීවා ය.
එවිට යේසුස්වහන්සේ, “මා විශ්වාස කරන්න ස්ත්‍රිය, ඔබ මේ කන්දේවත්, යෙරුසලම්හිදීවත් පියාණන්වහන්සේට නමස්කාර නො කරන කාලයක් උදා වෙයි. ඔබ නමස්කාර කරන්නේ, ඔබ නො දන්නා දේටයි; අප නමස්කාර කරන්නේ, අප දන්නා දේටයි. මන්ද ගැලවීම යුදෙව්වන් වෙතින්; එහෙත් අව්‍යාජ ව නමස්කාර කරන්නන්, ආත්මයෙන් හා සැබෑකමින් පියාණන්වහන්සේට නමස්කාර කරන කාලයක් පැමිණෙයි. ඒ කාලය දැන් උදා වෙලා. පියාණන්වහන්සේ එසේ නමස්කාර කරන්නන් සොයන සේක. දෙවියන්වහන්සේ ආත්මයාණන් ය; උන්වහන්සේට නමස්කාර කරන්නන්, නමස්කාර කළ යුත්තේත්, ආත්මයෙන් හා සැබෑකමින්” යැයි පැවසූ සේක.
එවිට එම ස්ත්‍රිය, “ක්‍රිස්තුස් කියන මෙසියස්වහන්සේ පැමිණෙන වග මා දන්නවා. උන්වහන්සේ ආ කල, හැම දෙයක් ම අපට පැහැදිලි කර දේවි” යි උන්වහන්සේට කීවා ය.
එවිට යේසුස්වහන්සේ, “ඔබ සමඟ කතා කරන මම උන්වහන්සේ වෙමි” යි ප්‍රකාශ කළ සේක.
ඒ වෙලාවේ ම උන්වහන්සේගේ ගෝලයෝ ආපසු පැමිණියහ. උන්වහන්සේ ස්ත්‍රියක හා කතාවෙන් පසුවනු දැක ඔවුහු මවිත වූහ. එහෙත්, “මොනවද ඔබට ඕනෑ?” කියා හෝ “ඇය සමඟ කතා කරන්නේ ඇයි?” කියා කිසිවකු ප්‍රශ්න කළේ නැත.
එකල එම ස්ත්‍රිය, තම වතුර කළය එතැන ම තබා, නගරයට ගොස්, “වරෙල්ලා, මෙතෙක් මා කළ හැම දෙයක් ම කී මිනිසකු බලන්නට; මෙතුමා ක්‍රිස්තුස්වහන්සේවත්දෝ” යි මිනිසුන්ට කීවා ය. එවිට නගරයෙන් පිටතට ආ ඔවුහු උන්වහන්සේ සිටි දෙසට ආහ.
ඒ අතර ගෝලයෝ, “රබ්බී, යමක් කන්නැ” යි උන්වහන්සේට පෙරැත්ත කළහ.
“ඔබ කොහෙත් ම නො දන්නා ආහාරයක් ගැනීමට මට තියෙනවා” යි උන්වහන්සේ ඔවුන්ට කී සේක.
එබැවින් ඔවුහු, “කවුරුවත් උන්වහන්සේට ආහාර ගෙනැවිත් දුන්නා දැ?” යි එකිනෙකා විමසූහ.
යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “මගේ ආහාරය මා එවූ තැනැන්වහන්සේගේ කැමැත්ත කර, උන්වහන්සේගේ කාර්යය සම්පූර්ණ කිරීමයි. ‘තව හාර මාසයයි; ඊළඟට කපන කාලය පැමිණේ’ යි ඔබ කියනවා නො වේ ද? මා ඔබට කියන්නේ, ඇස් ඇර කුඹුරු දිහා බලන්න! අස්වනු නෙළීමට ඒවා දැනටමත් පැහිලා. වපුරන්නාත්, කපන්නාත් එක් ව ප්‍රීති ප්‍රමෝද වන පිණිස අස්වනු නෙළන්නා දැනටමත් තම වැටුප් ලැබ, සදාතන ජීවනයට පලදාව රැස් කරයි. මෙසේ, ‘කෙනෙක් වපුරන්නේ ය, අන් කෙනෙක් කපන්නේ ය’ යන කියමන සැබෑ වෙයි. ඔබ වැඩ නො කළ කුඹුරක අස්වනු නෙළීමට මම ඔබ යැවුවෙමි. වැපිරීමේ වෙහෙස දැරුවේ වෙනත් අයයි. ඔවුන්ගේ වෙහෙසේ පල භුක්ති විඳින්නෝ ඔබ යැ” යි පැවසූ සේක.
“මෙතෙක් මා කළ හැම දෙයක් ම එතුමා මට කීවා” යන ඒ ස්ත්‍රියගේ සාක්ෂිය නිසා, ඒ නගරයේ සමාරි වාසීහු බොහෝ දෙනෙක් උන්වහන්සේ තුළ විශ්වාසය තැබූහ. එබැවින් ඔවුහු උන්වහන්සේ හමුවට ආ කල, තමන් සමඟ නවතින්නැයි උන්වහන්සේට ඇවිටිලි කළහ. උන්වහන්සේ දින දෙකක් ඔවුන් සමඟ ගත කළ සේක. එහිදී උන්වහන්සේගේ වචන නිසා, තවත් බොහෝ දෙනෙක් ඇදහිලිවතුන් බවට පත් වූහ.
ඔවුහු ඒ ස්ත්‍රියට කතා කොට, “අප දැන් විශ්වාස කරන්නේ, ඔබ කී දේ නිසා නො වෙයි. අපි දැන් අපේ ම කනින් ඇසුවා; සැබවින් ම දැන් අප දන්නවා මුන්වහන්සේ ලෝකයේ ගැලවුම්කරුවාණන් වග” යයි කීවෝ ය.
ඒ දෙදිනට පසු යේසුස්වහන්සේ ඔවුන්ගෙන් සමුගෙන ගලීලය බලා ගිය සේක.