යොහන් 3:8-17
යොහන් 3:8-17 SCV
සුළඟ එය කැමති අත හමයි; එහි හඬ ඔබට ඇසෙයි; එහෙත් එය කොහි සිට එනවා ද? කොතැනක යනවාදැයි ඔබ දන්නේ නැත. ආත්මයාණන්ගෙන් ඉපැදුණු හැම කෙනකු ම අන්න ඒ වගේ යැ” යි කී සේක. “ඒක වෙන්නේ කොහොම දැ?” යි නිකදේමුස් ඇසුවේ ය. යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, මෙසේ පැවසූ සේක, “ඉශ්‍රායෙල් ගුරුවරයා ඔබයි; ඒත් ඔබට ඒවා වැටහෙන්නේ නැති ද? සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, අප පවසන්නේ දන්නා දේයි. සාක්ෂි දරන්නේ අප දුටු දේයි. එහෙත් අපගේ සාක්ෂිය ඔබ පිළිගන්නේ නැත. මා පොළොවේ දේවල් ගැන කී විට, ඔබ ඒවා විශ්වාස කරන්නේ නැති නම්, ස්වර්ගීය දේ ගැන කීවොත්, විශ්වාස කරන්නේ කොහොම ද? ස්වර්ගයෙන් බැස්සා වූ තැනැත්තාණන් වන මනුෂ්‍ය පුත්‍රයාණන් මිස, කිසිවෙක් කිසි කලෙක ස්වර්ගයට නැගුණේ නැත; පාළුකරයේදී මෝසෙස් සර්පයා එසවූ ලෙස මනුෂ්‍ය පුත්‍රයාණන් ද ඔසවනු ලැබිය යුතු ව ඇත. ඒ, උන්වහන්සේ අදහා ගන්නා හැම කෙනකුට ම සදාතන ජීවනය අත්වන පිණිසයි.” මන්ද දෙවියන්වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළ සේක් ද යත්, ස්වකීය එක ම පුතණුවන් දුන් සේක. ඒ, උන්වහන්සේ තුළ අදහා ගන්නා කවරකු වුවත් විනාශ නො වී, සදාතන ජීවනය ලබන පිණිස ය. දෙවියන්වහන්සේ ස්වකීය පුත්‍රයාණන් ලෝකයට එවුවේ, ලෝකයා වරදට පත් කරන්නට නො ව, උන්වහන්සේ මගින් ලෝකයා ගලවා ගන්නට ය.

