යොහන් 3:22-35
යොහන් 3:22-35 SCV
මින් පසුව යේසුස්වහන්සේ හා උන්වහන්සේගේ ගෝලයෝ යූදා ගම් පළාතට ගියහ; උන්වහන්සේ ටික කලක් ඔවුන් සමඟ ගත කරමින්, බව්තීස්ම ද කළ සේක. සාලිම් අසල ඒනොන්හි බෙහෙවින් ජලය තිබූ බැවින් යොහන් ද තමන් වෙත ආ අය බව්තීස්ම කරමින් සිටියේ ය. ඒ, යොහන් සිරබාරයට පත් වන්නට කලිනි; යොහන්ගේ ගෝලයින් හා යුදෙව්වරයකු අතර පවිත්‍ර වීමේ චාරිත්‍රය පිළිබඳ වාදයක් පැන නැගිණි. ඔවුහු යොහන් අමතමින්, “රබ්බී, යොර්දානෙන් එතෙර ඔබ සමඟ සිටි, අර ඔබ සාක්ෂි දැරූ තැනැත්තාත් දැන් බව්තීස්ම කරයි; දැන් හැමෝම යන්නේ ඔහු වෙත යැ” යි කීවේ ය. යොහන් පිළිතුරු දෙමින්, මෙසේ පැවසී ය, “ස්වර්ගයෙන් දෙනු ලැබූ දෙයක් මිස අන් කිසිවක් ලබන්නට මනුෂ්‍යයකුට නුපුළුවන. ‘මා ක්‍රිස්තුස්වහන්සේ නො ව, උන්වහන්සේට පෙරටුව එවනු ලැබූ තැනැත්තා යැ’ යි මා කී වගට ඔබට සාක්ෂි දැරිය හැකියි. මනාලිය අයිති මනාලයාටයි. මනාලයා ළඟ සිට ඔහුට සවන් දෙන මිත්‍රයාට මනාලයාගේ කටහඬ ඇසීමත් කිව නො හැකි තරම් ප්‍රීතියක්; එහෙයින් මගේ ඒ ප්‍රීතිය දැන් සම්පූර්ණ වී ඇත; උන්වහන්සේ වැඩි වෙන්නටත්, මා අඩු වෙන්නටත් ඕනෑ ය.” ඉහළින් එන තැනැත්තා හැමෝට ම වඩා උතුම් ය; පොළොවෙන් වන තැනැත්තා අයිති පොළොවටයි. ඔහු කතා කරන්නේ පොළොවේ කෙනකු වගෙයි. ස්වර්ගයෙන් එන තැනැත්තා සියල්ලන්ට වඩා උතුම් ය. උන්වහන්සේ සාක්ෂි දරන්නේ, තමන් ඇසූ දුටු දේ ගැනයි; එනමුත් කිසිවකු උන්වහන්සේගේ සාක්ෂිය පිළිගන්නේ නෑ. උන්වහන්සේගේ සාක්ෂිය පිළිගන්නා කවරකු වුව දෙවියන්වහන්සේ සත්‍යය ම බවට, තම මුද්‍රාව තබයි. දෙවියන්වහන්සේ එවූ තැනැත්තා පවසන්නේ, දෙවියන්වහන්සේගේ ම වචනයි. මන්ද දෙවියන්වහන්සේ ආත්මයාණන් ප්‍රදාන කරන්නේ සීමාවක් නැතිවයි. දෙවියන්වහන්සේ ස්වකීය පුත්‍රයාට ප්‍රේම කරන සේක්, හැම දෙයක් ම පුත්‍රයාණන් අතට දී තිබේ.

