යොහන් 3:11-21

යොහන් 3:11-21 SCV

සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, අප පවසන්නේ දන්නා දේයි. සාක්ෂි දරන්නේ අප දුටු දේයි. එහෙත් අපගේ සාක්ෂිය ඔබ පිළිගන්නේ නැත. මා පොළොවේ දේවල් ගැන කී විට, ඔබ ඒවා විශ්වාස කරන්නේ නැති නම්, ස්වර්ගීය දේ ගැන කීවොත්, විශ්වාස කරන්නේ කොහොම ද? ස්වර්ගයෙන් බැස්සා වූ තැනැත්තාණන් වන මනුෂ්‍ය පුත්‍රයාණන් මිස, කිසිවෙක් කිසි කලෙක ස්වර්ගයට නැගුණේ නැත; පාළුකරයේදී මෝසෙස් සර්පයා එසවූ ලෙස මනුෂ්‍ය පුත්‍රයාණන් ද ඔසවනු ලැබිය යුතු ව ඇත. ඒ, උන්වහන්සේ අදහා ගන්නා හැම කෙනකුට ම සදාතන ජීවනය අත්වන පිණිසයි.” මන්ද දෙවියන්වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළ සේක් ද යත්, ස්වකීය එක ම පුතණුවන් දුන් සේක. ඒ, උන්වහන්සේ තුළ අදහා ගන්නා කවරකු වුවත් විනාශ නො වී, සදාතන ජීවනය ලබන පිණිස ය. දෙවියන්වහන්සේ ස්වකීය පුත්‍රයාණන් ලෝකයට එවුවේ, ලෝකයා වරදට පත් කරන්නට නො ව, උන්වහන්සේ මගින් ලෝකයා ගලවා ගන්නට ය. උන්වහන්සේ තුළ අදහා ගන්නා කිසිවකු දඬුවමට නියම කරනු ලබන්නේ නැත. එහෙත් අදහා නො ගන්න කවරකු වුව දැනටමත් දඬුවමට නියම ව සිටී; මන්ද ඔහු දෙවියන්වහන්සේගේ එක ම පුත්‍රයාණන්ගේ නාමය තුළ විශ්වාස නො කළ බැවිනි. තීන්දුව මෙයයි; ලෝකයට ආලෝකය පහළ වී ඇති නමුත්, මිනිසුන් තම ක්‍රියා කලාපය දුෂ්ට නිසා, ඔවුන් ප්‍රිය කරන්නේ ආලෝකයට වඩා අන්ධකාරයට ය. නපුර කරන හැම කෙනෙක් ම ආලෝකයට වෛර කරනවාත් හැර, තම ක්‍රියා කලාපය හෙළිවෙතැයි බියෙන් ආලෝකයට එන්නේ ද නැත. එහෙත් සත්‍යයෙහි පැවත ක්‍රියා කරන්නා, තමන් කරන දේ දෙවියන්වහන්සේගේ කැමැත්තට එකඟ ව කළ බව පෙනෙන පිණිස, ආලෝකය තුළට එන්නේ ය.

යොහන් 3:11-21 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය