එවිට යේසුස්වහන්සේ ප්‍රේම කළ ගෝලයා පේතෘස්ට කතා කොට, “ඒ ස්වාමින්වහන්සේ යැ” යි කීවේ ය. ඒ ස්වාමින්වහන්සේ වග ඇසූ සීමොන් පේතෘස්, වැඩට ගලවා දමා තිබූ කබාය වහා හැඳ දියට පැන්නේ ය. අනෙක් ගෝලයෝ සිටියේ වෙරළට රියන් දෙසියයක් පමණ නුදුරින් බැවින්, මසුන්ගෙන් යුත් දැල ද ඇදගෙන ඔරුවෙන් ම ආහ. ගොඩට ආ කල, දැවෙමින් තිබූ අඟුරු මත මසුන් ද රොටි ද තිබෙනු ඔවුහු දුටුවහ.
යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “ඔබ දැන් ඇල්ලූ මාළු ටිකකුත් ගෙනෙන්නැ” යි කී සේක. සීමොන් පේතෘස් ඔරුවට ගොඩ වී, දැල ගොඩට ඇද්දේ ය. ලොකු මසුන් එකසිය පනස්තුන් දෙනකු ම හසුව සිටිය ද දැල ඉරී තිබුණේ නැත. “එන්න, ඇවිත් කන්නැ” යි යේසුස්වහන්සේ ඔවුන්ට ඇරියුම් කළ සේක. “ඔබ කවුරු දැ?” යි උන්වහන්සේගෙන් අහන්නට එක් ගෝලයකුටවත් ධෛර්යය තිබුණේ නැත. ඒ ස්වාමින්වහන්සේ වග ඔවුහු දැන සිටියහ. යේසුස්වහන්සේ පැමිණ, රොටි ගෙන, ඔවුනට බෙදා දුන් සේක; මාළු ද දුන් සේක. යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටි පසු, තම ගෝලයනට පෙනුණු තුන් වන අවස්ථාව මෙය ය.
ඔවුන් ආහාර ගත් පසු, සීමොන් පේතෘස් ඇමතූ යේසුස්වහන්සේ, “සීමොන්, යොහන්ගේ පුත්‍රය, මේ අයට වඩා ඔබ මට ප්‍රේම කරනවා දැ?” යි ඇසූ සේක.
ඔහු පිළිතුරු දෙමින්, “එහෙමයි ස්වාමිනි, මා ඔබට ආදරය කරන වග ඔබ දන්නවා” යි උන්වහන්සේට කීවේ ය.
“මගේ බැටළු පැටවුන් පෝෂ්‍ය කරන්නැ” යි උන්වහන්සේ ඔහුට පැවසූ සේක.
උන්වහන්සේ දෙවන වරටත් ඔහු අමතා, “සීමොන්, යොහන්ගේ පුත්‍රය, ඔබ මට ප්‍රේම කරනවා දැ?” යි ඇසූ සේක.
ඔහු ද පිළිතුරු දෙමින්, “එහෙමයි ස්වාමිනි, මා ඔබට ආදරය කරන වග ඔබ දන්නවා” යි උන්වහන්සේට කීවේ ය.
“මගේ බැටළුවන් රැක බලා ගන්නැ” යි උන්වහන්සේ ඔහුට පැවසූ සේක.
උන්වහන්සේ තුන් වන වරටත්, “සීමොන්, යොහන්ගේ පුත්‍රය, ඔබ මට ආදරේ දැ?” යි ඔහුගෙන් ඇසූ සේක.
උන්වහන්සේ තුන් වන වරටත්, “ඔබ මට ආදරේ කරනවා දැ?” යි ඇසූ බැවින් පේතෘස්ගේ සිත රිදිණි. ඔහු උන්වහන්සේ අමතා, “ස්වාමිනි, ඔබතුමා හැම දෙයක් ම දනී; මා ඔබට ආදරේ කරන වග ඔබතුමා දන්නවා” යි කීවේ ය.
යේසුස්වහන්සේ ඔහුට කතා කොට, “මගේ බැටළුවන් පෝෂ්‍ය කරන්න.