යොහන් 21:15-24
යොහන් 21:15-24 SCV
ඔවුන් ආහාර ගත් පසු, සීමොන් පේතෘස් ඇමතූ යේසුස්වහන්සේ, “සීමොන්, යොහන්ගේ පුත්‍රය, මේ අයට වඩා ඔබ මට ප්‍රේම කරනවා දැ?” යි ඇසූ සේක. ඔහු පිළිතුරු දෙමින්, “එහෙමයි ස්වාමිනි, මා ඔබට ආදරය කරන වග ඔබ දන්නවා” යි උන්වහන්සේට කීවේ ය. “මගේ බැටළු පැටවුන් පෝෂ්‍ය කරන්නැ” යි උන්වහන්සේ ඔහුට පැවසූ සේක. උන්වහන්සේ දෙවන වරටත් ඔහු අමතා, “සීමොන්, යොහන්ගේ පුත්‍රය, ඔබ මට ප්‍රේම කරනවා දැ?” යි ඇසූ සේක. ඔහු ද පිළිතුරු දෙමින්, “එහෙමයි ස්වාමිනි, මා ඔබට ආදරය කරන වග ඔබ දන්නවා” යි උන්වහන්සේට කීවේ ය. “මගේ බැටළුවන් රැක බලා ගන්නැ” යි උන්වහන්සේ ඔහුට පැවසූ සේක. උන්වහන්සේ තුන් වන වරටත්, “සීමොන්, යොහන්ගේ පුත්‍රය, ඔබ මට ආදරේ දැ?” යි ඔහුගෙන් ඇසූ සේක. උන්වහන්සේ තුන් වන වරටත්, “ඔබ මට ආදරේ කරනවා දැ?” යි ඇසූ බැවින් පේතෘස්ගේ සිත රිදිණි. ඔහු උන්වහන්සේ අමතා, “ස්වාමිනි, ඔබතුමා හැම දෙයක් ම දනී; මා ඔබට ආදරේ කරන වග ඔබතුමා දන්නවා” යි කීවේ ය. යේසුස්වහන්සේ ඔහුට කතා කොට, “මගේ බැටළුවන් පෝෂ්‍ය කරන්න. සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, තරුණ කාලේ ඔබ ඉඟටිය බැඳ, ඔබ කැමති තැන්හි ඇවිද්දා; එනමුත් මහලු විය පැමිණි කල, ඔබ ඔබේ අත් දිගු කරනු ඇත. එවිට වෙනත් කෙනෙක් ඔබ හඳවා, ඔබ අකමැති තැනකට ඔබ ගෙන යනු ඇතැ” යි කී සේක. උන්වහන්සේ එසේ කීවේ, කෙබඳු ආකාරයේ මරණයකින් ඔහු දෙවියන්වහන්සේ ගෞරවයට පමුණුවනවාදැයි පෙන්වා දීමට ය. එසේ කී පසු උන්වහන්සේ, “මා අනුගමන කරන්නැ” යි ඔහුට කී සේක. පේතෘස් ආපසු හැරී බැලූ කල, යේසුස්වහන්සේ ප්‍රේම කළ ගෝලයා ඔවුන් පසුපසින් එනවා දැක්කේ ය. (රාත්‍රි භෝජනයේදී උන්වහන්සේගේ ළයට ළං ව හේත්තු වී, “ස්වාමිනි ඔබ පාවා දෙනු ලබන්නේ කවරකු විසින් දැ?” යි ඇසුවේ මොහු ය). පේතෘස් ඔහු දුටු කල යේසුස්වහන්සේ අමතා, “ස්වාමිනි, මේ මිනිසා ගැන කෙසේ දැ?” යි ඇසී ය. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මා එන තුරු ඔහු හිඳීම මගේ කැමැත්ත නම්, ඒ ගැන ඔබට මොකද? ඔබ මා අනුගමන කරන්නැ” යි කී සේක. ඒ කීම නිසා ඒ ගෝලයා නොමැරෙන්නේ ය යන රාවයක් සහෝදරයන් අතර පතළ ව ගියේ ය. එහෙත් ඔහු මැරෙන්නේ නැතැයි යේසුස්වහන්සේ කීවේ නැත. කීවේ, “මා එන තුරු ඔහු හිඳීම මගේ කැමැත්ත නම්, ඒ ගැන ඔබට මොකද?” කියා ය. මේ දෑ ලියා, මේ දෑ ගැන සාක්ෂි දෙන ගෝලයා ඔහු ය. ඔහුගේ සාක්ෂිය සත්‍යය බව අපි දනිමු.

