යොහන් 21:1-6

යොහන් 21:1-6 SCV

මෙයින් පසු යේසුස්වහන්සේ තිබේරියස් මුහුද අද්දරදී තම ගෝලයින්ට නැවත පෙනුණු සේක. උන්වහන්සේ පෙනෙන්නට වූයේ මෙලෙස ය. සීමොන් පේතෘස් ද දිදිමුස් නම් තෝමස් ද ගලීලයේ කානාහි නතානියෙල් ද සෙබදීගේ පුත්‍රයින් ද තවත් ගෝලයින් දෙදෙනෙක් ද එක් ව සිටියදී, සීමොන් පේතෘස් ඔවුන් අමතා, “මා මසුන් අල්ලන්නට යනවා” යි කීවේ ය. “අපත් ඔබ සමඟ එනවා” යි ඔවුහු ද ඔහුට කීහ. එබැවින් ඔවුහු පිටත් ව, ඔරුවක නැගුණහ. එහෙත්, ඒ රැයේ ඔවුන් ඇල්ලූ කිසිවක් නැත. දවස උදා වෙත් ම යේසුස්වහන්සේ වෙරළේ සිටි සේක. එහෙත් ඒ යේසුස්වහන්සේ වග ගෝලයින් හැඳින ගත්තේ නැත. යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “දරුවනි, ඔබ ළඟ මසුන් තියෙනවා දැ?” යි ඇසූ සේක. “නැතැ” යි ඔවුහු පිළිතුරු දුන්හ. “ඔරුවේ දකුණු පැත්තෙන් දැල් දමන්න. එවිට හසු වේවි” යි උන්වහන්සේ ඔවුන්ට කී සේක. ඔවුහු එසේ දැල් හෙළූහ. එවිට දැල ඇදගන්නට බැරි තරමට මසුන් තොගයක් ම හසු විය.