යොහන් 20:14-18

යොහන් 20:14-18 SCV

මෙසේ කියා ආපසු හැරුණු ඈ යේසුස්වහන්සේ එතැන සිටගෙන සිටිනු දුටුවා ය. එහෙත් ඒ යේසුස්වහන්සේ වග ඈ නො දත්තී ය. යේසුස්වහන්සේ ඇය අමතා, “ළඳුනි, ඇයි ඔබ හඬන්නේ? කවරකු ද ඔබ සොයන්නේ?” යි ඇසූ සේක. ඒ උයන්පල්ලා යැයි සිතූ ඈ, උන්වහන්සේ අමතා, “මහත්මයා, උන්වහන්සේ ඉවත ගෙන ගියේ ඔබ නම්, ඔබ උන්වහන්සේ තැබුවේ කොතැනකදැයි මට කියන්න. මා උන්වහන්සේ ගෙන යන්නම්” කීවා ය. එවිට යේසුස්වහන්සේ, “මරියා!” යි ඇය ඇමතූ සේක. එදෙස හැරුණු මරියා, “රබ්බෝනි!” යි උන්වහන්සේට කීවා ය. (රබ්බෝනි යනු ගුරුතුමනි යනුයි.) යේසුස්වහන්සේ ඇයට කතා කොට, “මා තවමත් පියාණන්වහන්සේ වෙත නො නැංග නිසා, මට අත නො තබන්න. එනමුත් මගේ සහෝදරයින් වෙත ගොස්, ‘මම, මගේ පියාණන්වහන්සේ හා ඔබේ පියාණන්වහන්සේ වෙත, මගේ දෙවියන්වහන්සේ හා ඔබේ දෙවියන්වහන්සේ වෙත නැගෙන්නෙමි’ යි කී වග ඔවුන්ට කියන්නැ” යි කී සේක. එවිට මග්දලායේ මරියා, ගෝලයන් වෙත ගොස්, “මා ස්වාමින්වහන්සේ දැක්කා” යි පවසා, උන්වහන්සේ ඒ දෑ ඇයට කී වග ඔවුන්ට දැන්වූවා ය.

මෙයට අදාළ වීඩියෝ