යොහන් 20:1-9

යොහන් 20:1-9 SCV

සතියේ පළමු දින හිමිදිරි උදයේ මද අඳුරේ සොහොන වෙත පැමිණි මග්දලාහි මරියා සොහොන් ලෙනේ ගල ඉවත් කර තිබෙනු දුටුවා ය. එබැවින් ඈ සීමොන් පේතෘස් ද යේසුස්වහන්සේ ප්‍රේම කළ අනෙක් ගෝලයා ද වෙත දුව ගොස්, “ඔවුන් ස්වාමින්වහන්සේ සොහොන වෙතින් අරන් ගිහිල්ලා; ඔවුන් කොහේ උන්වහන්සේ තැබුවා ද කියා අප දන්නේ නැහැ” යි කීවා ය. එවිට පේතෘස්, අනෙක් ගෝලයා ද සමඟ පිටත් ව, සොහොන් ගේ දෙසට ගියහ. දෙදෙනා ම එක් ව දිවූහ. එහෙත් අනෙක් ගෝලයා පේතෘස් පසු කර ගොස්, සොහොන වෙත මුලින් ම ළඟා විය, ලෙන තුළට එබී බලා, එහි වූ හණ වෙළුම් පටි දුටු නමුත්, ඔහු ඇතුළට ගියේ නැත. ඔහුට පිටුපසින් පැමිණි සීමොන් පේතෘස් සොහොනට ඇතුල් ව, එහි වූ හණ වෙළුම් පටි ද යේසුස්වහන්සේගේ හිස දවටා තිබූ රෙදි කඩ ද දුටුවේ ය. එම රෙදි කඩ හණ රෙදි සමඟ නො ව, වෙනම නවා, අන් තැනක තබා තිබිණ. එකල සොහොන වෙත පළමු ව ආ ගෝලයා ද ඇතුල් ව, දැක විශ්වාස කළේ ය. උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටිය යුතු බවට වූ ශුද්ධ ලියවිල්ල ඒ වන තුරුත් ඔවුන් වටහා ගෙන සිටියේ නැත.