යොහන් 2:18-25

යොහන් 2:18-25 SCV

එවිට යුදෙව් නායකයෝ උන්වහන්සේට කතා කරමින්, “මේවා කිරීමට ඔබ පෙන්වන අනුහස් ලකුණ කුමක් දැ?” යි ඇසූහ. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මේ මාලිගය කඩා දමන්න; තුන් දවසකින් මම එය නැවත ගොඩ නගන්නෙමි” යි පැවසූ සේක. එවිට ඔවුහු, “මේ මාලිගය ගොඩ නගන්නට හතළිස් හය වසරක් ගත වුණා; ඔබ එය දවස් තුනකින් ගොඩ නගන්න යනවා දැ?” යි ඇසූහ. එහෙත් උන්වහන්සේ කී මාලිගාව උන්වහන්සේගේ ම ශරීරයයි. යේසුස්වහන්සේ මරණින් යළි නැගිට්ට පසු, උන්වහන්සේගේ ගෝලයින්ට උන්වහන්සේගේ මේ කියමන මතක් විය; එවිට ඔවුහු ශුද්ධ ලියවිල්ල ද උන්වහන්සේ පැවසූ වචන ද විශ්වාස කළෝ ය. පාස්කු උත්සවයට යෙරුසලමේ සිටියදී, උන්වහන්සේ දැක් වූ ලකුණු දුටු බොහෝ දෙනෙක් උන්වහන්සේගේ නාමය කෙරේ විශ්වාස කළහ. යේසුස්වහන්සේ සියලු මිනිසුන් ගැන දැන සිටි හෙයින් තමන්වහන්සේ ම ඔවුන්ට භාර වූයේ නැත. මිනිසාගේ ඇතුළාන්තය හොඳින් ම දත් හෙයින්, මිනිසකු ගැන තවත් මිනිසකුගේ සහතිකයක් උන්වහන්සේට අවශ්‍ය වූයේ නැත.

යොහන් 2:18-25 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය