යොහන් 18:13-24

යොහන් 18:13-24 SCV

පළමු කොට ඔවුහු එම වසරේ උත්තම පූජක වූ කායාපස්ගේ මාමණ්ඩිය වූ අන්නස් වෙත උන්වහන්සේ ගෙන ගියහ. ජනතාව වෙනුවෙන් එක මිනිසකු මරණයට පත්වීම වඩා හොඳ බවට යුදෙව්වරුන්ට උපදෙස් දුන්නේ මෙම කායාපස් ය. සීමොන් පේතෘස් හා තවත් ගෝලයෙක් යේසුස්වහන්සේ පසුපසින් ගියහ. එම ගෝලයා උත්තම පූජකයා හඳුනන බැවින්, යේසුස්වහන්සේ සමඟ උත්තම පූජක මැදුරු මළුවට ඇතුළු විය. එහෙත් පේතෘස් පිටත දොරකඩ සිටගෙන සිටියේ ය. එබැවින් උත්තම පූජකයා හඳුනන එම අනෙක් ගෝලයා පිටතට පැමිණ, දොරටුව මුර කළ සේවිකාවට කතා කොට, පේතෘස් ඇතුළට ගෙනාවේ ය. දොරටුවේ සිටි සේවිකාව පේතෘස් අමතා, “ඔබත් අර මිනිහාගේ ගෝලයෙක් නො වේ ද? එහෙම නේදැ?” යි ඇසුවා ය. පේතෘස්, “මා එයින් කෙනෙක් නො වේ” යි කීවේ ය. ශීතල නිසා සේවකයෝ හා භටයෝ අඟුරින් ගිනි මැලයක් දල්වා ඒ වටා සිටගෙන, ගිනි තපිමින් සිටියහ. පේතෘස් ද ඔවුන් අතර සිටගෙන ගිනි තපිමින් සිටියේ ය. ඒ අතර උත්තම පූජකයා, යේසුස්වහන්සේගේ ගෝලයින් හා ඉගැන්වීම් ගැන උන්වහන්සේගෙන් ප්‍රශ්න කළේ ය. යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “ලෝකයට මා කතා කළේ එළිපිට ය. මා හැම විට ඉගැන්නුවේ සියලු යුදෙව්වරුන් රැස් වන සිනගෝගවලදී හා දේව මාලිගාවේදී ය. රහසිගත ව මා කිසිවක් කතා කළේ නැත. මගෙන් අහන්නේ කුමට ද? මා ඔවුන්ට කීවේ මොනවාදැයි මට සවන් දුන් අයගෙන් අහන්න. මා කී දෑ ඔවුහු දනිති” යි කී සේක. යේසුස්වහන්සේ එසේ කී කල, උන්වහන්සේට අතුල් පහරක් ගැසූ ළඟ සිටි මුර සේවකයෙක්, “උත්තම පූජකයාට කතා කරන්නේ මෙහෙම දැ?” යි ඇසී ය. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මා කී දෑ වැරදි නම්, වරද ගැන සාක්ෂි දරන්න. එනමුත් මා කී දෑ නිවැරදි නම්, නුඹ මට පහර දෙන්නේ මන්දැ?” යි ඇසූ සේක. එවිට අන්නස්, උන්වහන්සේ බැඳ සිටි ලෙස ම උත්තම පූජක කායාපස් වෙත යැවී ය.

යොහන් 18:13-24 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය