යොහන් 18:1-6

යොහන් 18:1-6 SCV

එම වචන පවසා නිම වූ පසු, යේසුස්වහන්සේ තම ගෝලයින් සමඟ කිද්‍රොන් ඔයෙන් එතෙර ව, එහි වූ උයනට තම ගෝලයින් සමඟ ඇතුළු වූ සේක. යේසුස්වහන්සේ නිතර තම ගෝලයින් සමඟ එහි ආ-ගිය බැවින්, උන්වහන්සේ පාවා දුන් යූදස් ද මේ ස්ථානය දැන සිටියේ ය. එබැවින් යූදස්, හේවා කණ්ඩායමක් ද නායක පූජකයින් හා පරිසිවරුන්ගෙන් ලබා ගත් නිලධාරී කණ්ඩායමක් ද සමඟ එහි ආවේ ය. ඔවුන් අත පහන්, පන්දම් හා අවි ද විය. යේසුස්වහන්සේ එවිට තමන්ට සිදු වන්නට යන සියල්ල දැන ඉදිරියට අවුත්, “කවුරු ද ඔබ සොයන්නේ?” යි ඔවුන්ගෙන් ඇසූ සේක. “නාසරෙත්හි යේසුස්” යැයි ඔවුහු පිළිතුරු දුන්හ. එවිට, “ඒ මම යැ” යි යේසුස්වහන්සේ ඔවුන්ට කී සේක. උන්වහන්සේ පාවා දුන් යූදස් ඔවුන් සමඟ සිටගෙන සිටියේ ය. යේසුස්වහන්සේ, “ඒ මම යැ” යි ඔවුන්ට කී කල, ඔවුහු පස්සෙන් පස්සට ගොස්, බිම ඇද වැටුණහ.