එම වචන පවසා නිම වූ පසු, යේසුස්වහන්සේ තම ගෝලයින් සමඟ කිද්‍රොන් ඔයෙන් එතෙර ව, එහි වූ උයනට තම ගෝලයින් සමඟ ඇතුළු වූ සේක. යේසුස්වහන්සේ නිතර තම ගෝලයින් සමඟ එහි ආ-ගිය බැවින්, උන්වහන්සේ පාවා දුන් යූදස් ද මේ ස්ථානය දැන සිටියේ ය. එබැවින් යූදස්, හේවා කණ්ඩායමක් ද නායක පූජකයින් හා පරිසිවරුන්ගෙන් ලබා ගත් නිලධාරී කණ්ඩායමක් ද සමඟ එහි ආවේ ය. ඔවුන් අත පහන්, පන්දම් හා අවි ද විය. යේසුස්වහන්සේ එවිට තමන්ට සිදු වන්නට යන සියල්ල දැන ඉදිරියට අවුත්, “කවුරු ද ඔබ සොයන්නේ?” යි ඔවුන්ගෙන් ඇසූ සේක. “නාසරෙත්හි යේසුස්” යැයි ඔවුහු පිළිතුරු දුන්හ. එවිට, “ඒ මම යැ” යි යේසුස්වහන්සේ ඔවුන්ට කී සේක. උන්වහන්සේ පාවා දුන් යූදස් ඔවුන් සමඟ සිටගෙන සිටියේ ය. යේසුස්වහන්සේ, “ඒ මම යැ” යි ඔවුන්ට කී කල, ඔවුහු පස්සෙන් පස්සට ගොස්, බිම ඇද වැටුණහ. උන්වහන්සේ නැවතත්, “කවරකු ද ඔබ සොයන්නේ?” යි ඔවුන්ගෙන් ඇසූ සේක. “නාසරෙත්හි යේසුස්” යැයි ඔවුහු කීහ. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඒ මම ය කියා මා ඔබට කීවා; ඔබ සොයන්නේ මා නම්, මේ මිනිසුන්ට යන්න හරින්නැ” යි කී සේක. මෙසේ වූයේ, “ඔබ මට දුන් අයගෙන් කිසිවකුත් මට නැති වූයේ නැතැ” යි උන්වහන්සේ කලින් පැවසූ වචන ඉටු වන පිණිස ය. එවිට, තමා වෙත කඩුවක් තිබූ සීමොන් පේතෘස් එය ඇද, උත්තම පූජකයාගේ දාසයාට ගසා, ඔහුගේ දකුණු කන කපා දැමී ය. ඒ දාසයාගේ නම මල්කස් ය. යේසුස්වහන්සේ පේතෘස් අමතා, “ඔය කඩුව කොපුවේ දමා ගන්න. පියාණන්වහන්සේ මට දී ඇති කුසලාන මම නො බොම් දැ?” යි පැවසූ සේක. එවිට හේවායෝ ද ඔවුන්ගේ අණ දෙන්නා ද යුදෙව් නිලධාරීහු ද යේසුස්වහන්සේ අත්අඩංගුවට ගෙන, උන්වහන්සේ බැඳ දැමූහ.
යොහන් 18 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යොහන් 18:1-12
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ