යොහන් 17:1-11

යොහන් 17:1-11 SCV

එසේ පැවසූ යේසුස්වහන්සේ ස්වර්ගය දෙස නෙත් යොමා, මෙසේ පැවසූ සේක. “පියාණෙනි, පැය පැමිණිලා. පුත්‍රයා විසින් ඔබවහන්සේ මහිමයට පමුණු වන පිණිස, ඔබගේ පුත්‍රයාණන් මහිමයට පැමිණෙවුව මැනව. මන්ද පුත්‍රයාණන්ට ඔබ දුන් සියලු දෙනාට සදාතන ජීවනය දෙන පිණිස, සකල මිනිස් වර්ගයා කෙරෙහි ඔබවහන්සේ පුත්‍රයාණන්ට ආධිපත්‍යය දුන් සේක. සදාතන ජීවනය මෙයයි; එක ම, සත්‍යම දෙවියන්වහන්සේ වන ඔබ හා ඔබ එවූ තැනැත්තාණන් වන යේසුස් ක්‍රිස්තුස් ඔවුන් විසින් හැඳින ගැනීමයි. කරන්නට ඔබ මට පැවරූ කාරිය සම්පූර්ණ කර, මම පොළොවේදී ඔබ මහිමයට පැමිණ වීමි. එබැවින් දැන් පියාණෙනි, ලෝකය ඇතිවීමට පළමුවෙන් ඔබ සමඟ මට තිබූ තේජෝ මහිමයෙන් ඔබ ඉදිරියේ මා මහිමයට පැමිණෙවුව මැනව. “ලෝකයෙන් ඔබ මට දුන් ජනයාට මම ඔබගේ නාමය ප්‍රකාශ කළෙමි. ඔවුන් ඔබවහන්සේගේ ය. ඔබ ඔවුන් මට දුන් සේක. ඔවුහු ද ඔබගේ වචනය රක්ෂා කළෝ ය. ඔබ මට දුන් හැම දෙයක් ම පැමිණුනේ ඔබවහන්සේ වෙතින් වග දැන් ඔවුහු දනිති. මන්ද ඔබ මට දුන් ඔබගේ වචන මම ඔවුන්ට දුනිමි. ඒවා පිළිගත් ඔවුහු, මා ඔබ වෙතින් ම ආ වග සැබවින් ම දැන, ඔබ ම මා එවූ බව විශ්වාස කළෝ ය. මම ඔවුන් උදෙසා යාච්ඤා කරමි. ලෝකයා උදෙසා යාච්ඤා නො කරමි. එනමුත් ඔබ මට දුන්නවුන් උදෙසා යාච්ඤා කරමි. මන්ද ඔවුන් ඔබවහන්සේගේ ය. මගේ හැම දෙයක් ම ඔබගේ ය; ඔබගේ හැම දෙයක් ම මගේ ය. ඔවුන් තුළ මම මහිමයට පැමිණ සිටිමි. තවදුරටත් මා ලෝකයේ සිටින්නේ නැත. එහෙත් මොවුහු ලෝකයේ ම සිටිති. මම ඔබවහන්සේ වෙත එන්නෙමි. ශුද්ධ වූ පියාණෙනි, අප ඒකත්වයක් ව සිටින්නා සේ, මොවුන් ද ඒකත්වයක් වන පිණිස, ඔබ මට දුන් ඔබගේ නාමයෙන්, ඔවුන් සුරකිනු මැනවි.