යොහන් 15:18-26

යොහන් 15:18-26 SCV

“ලෝකයා ඔබට ද්වේෂ කරන විට, ඔබට ද්වේෂ කරන්නට පළමුවෙන් ඔවුන් මට ද්වේෂ කළ වග දැනගන්න. ඔබ ලෝකයට අයිති නම්, තමන්ගේ ම එකකුට සේ ලෝකයා ඔබට ප්‍රේම කරනු ඇත. එහෙත් ලෝකයා ඔබට වෛර වන්නේ, ඔබ ලෝකයෙන් නො වන නිසාත්, මා ලෝකයෙන් ඔබ තෝරාගත් නිසාත් ය. ‘දාසයා තම ස්වාමියාට වඩා උතුම් නැතැ’ යි මා කී වචනය සිහි කරන්න. ඔවුහු මට පීඩා කළෝ නම්, ඔබටත් පීඩා කරනු ඇත. ඔවුහු මගේ වචන පිළිපැද්දෝ නම්, ඔබගේ වචනත් පිළිපදිනු ඇත. ඔවුන් මේ සියලු දෑ ඔබට කරන්නේ, මගේ නාමය නිසා ය. මන්ද ඔවුන් මා එවූ තැනැන්වහන්සේ හඳුනන්නේ නැත. මා නො පැමිණියා නම්, හා ඔවුන්ට නො පැවසුවා නම් පාපය ගැන ඔවුන් වරදකරුවන් නො වේ. එහෙත් දැන් තම පාපය ගැන නිදහසට කරුණු ඔවුන්ට නැත. මට ද්වේෂ කරන කවරෙක් වුවත්, මගේ පියාණන්වහන්සේට ද ද්වේෂ කරයි. කිසි කෙනකු නො කළ වැඩ මා ඔවුන් මධ්‍යයේ සිදු නො කළා නම්, පාපය ගැන ඔවුන් වරදකරුවන් නො වේ. එනමුත් දැන් ඔවුහු ඒ දෑ දැක, මටත්, මගේ පියාණන්වහන්සේටත් යන දෙදෙනාට ම ද්වේෂ කරති. එහෙත් එසේ වූයේ, ‘අහේතුක ව ඔවුහු මට ද්වේෂ කළහ’ යන ඔවුන්ගේ ව්‍යවස්ථාවේ ලියා ඇති වචනය ඉෂ්ට විය යුතු නිසා ය. “පියාණන්වහන්සේ වෙතින් මා ඔබ වෙත එවන සහනදායකයාණන්, පියාණන්වහන්සේ වෙතින් නික්ම එන සත්‍යතාවයේ ආත්මයාණන්වහන්සේ ආ කල, උන්වහන්සේ මා ගැන සාක්ෂි දෙන සේක.