යොහන් 14:1-10

යොහන් 14:1-10 SCV

“ඔබ හදවත් කලබල වන්නට ඉඩ නො දෙන්න. ඔබ දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නහු ය; මා කෙරෙහිත් විශ්වාස කරන්න. මගේ පියාණන්වහන්සේගේ ගෘහයේ බොහෝ නිවහන් තිබේ. එසේ නො වේ නම්, ඔබට ස්ථානයක් සූදානම් කරන්නට මා යනවායයි මා ඔබට කියනවා ද? මා ගොස්, ඔබටත් තැනක් සූදානම් කරන්නෙම් නම්, මා සිටින තැන ඔබත් සිටින පිණිස, මා සමඟ ඔබ කැඳවාගෙන යෑමට එන්නෙමි. මා යන තැනට යන මාර්ගය ඔබත් දන්නවා” යි පැවසූ සේක. තෝමස් උන්වහන්සේ අමතමින්, “ස්වාමිනි, ඔබ කොතැනක යනවාදැයි අප දන්නේ නෑ; අප මාර්ගය දන්නේ කොහොම දැ” යි ඇසී ය. යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “මාර්ගය ද සත්‍යය ද ජීවනය ද මම ය; මා මගින් මිස, කිසිවකු පියාණන්වහන්සේ වෙත එන්නේ නැත. ඔබ මා හැඳින ගත්තා නම්, මගේ පියාණන්වහන්සේ ද හඳුනා ගනු ඇත. මෙතැන් පටන් ඔබ උන්වහන්සේ හඳුනති; උන්වහන්සේ දැකලාත් තිබේ යැ” යි කී සේක. පිලිප් කතා කරමින්, “ස්වාමිනි, අපට පියාණන්වහන්සේ පෙන්වන්න. එය ම අපට ඇති” යි කීවේ ය. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මෙපමණ කලක් මා සමඟ ඉඳලත් තවම මා හඳුනන්නේ නැද්ද පිලිප්? මා දුටු තැනැත්තා පියාණන්වහන්සේ දැක තිබේ. එසේ නම්, ‘අපට පියාණන්වහන්සේ පෙන්වන්නැ’ යි කියන්නේ කෙසේ ද? මා පියාණන්වහන්සේ තුළත්, පියාණන්වහන්සේ මා තුළත් වෙසෙන වග, ඔබ විශ්වාස කරන්නේ නැද්ද? මා ඔබට පවසන වචන මවිසින් ම කරන කතා නො ව, මා තුළ වසන පියාණන්වහන්සේගේ ම ක්‍රියා කිරීමකි.

යොහන් 14:1-10 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය