යොහන් 13:21-35

යොහන් 13:21-35 SCV

එසේ පැවසූ පසු, යේසුස්වහන්සේ ආත්මයෙන් කැලඹී, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, ඔබගෙන් කෙනෙක් මා පාවා දෙන්නේ යැ” යි පැවසූ සේක. උන්වහන්සේ කීවේ කවුරුන් ගැනදැයි සැකයෙන් ගෝලයෝ එකිනෙකා දෙස බලන්නට වූහ. ගෝලයන්ගෙන් කෙනකු වූ යේසුස්වහන්සේ ප්‍රේම කළ ගෝලයා මේසයෙහි උන්වහන්සේගේ ළයට ළං ව හේත්තු වී සිටියේ ය. සීමොන් පේතෘස් ඔහුට සංඥා කොට, උන්වහන්සේ අදහස් කළේ කවරකු ගැනදැයි අසන්නට කීවේ ය. එබැවින් ඔහු යේසුස්වහන්සේගේ ළයට හේත්තු වී, “ස්වාමිනි ඒ කවුරුන් දැ?” යි ඇසී ය. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මා මේ රොටි කැබැල්ල පොඟවා දෙන්නේ කවරකුට ද, ඒ ඔහු යැ” යි කියා, උන්වහන්සේ රොටි කැබැල්ල පොඟවා, සීමොන් ඉස්කාරියොත්ගේ පුත් යූදස්ට එය දුන් සේක. ඔහු රොටි කැබැල්ල ගත් විගස, සාතන් ඔහුට ඇතුළු විය. එවිට යේසුස්වහන්සේ ඔහු අමතා, “ඔබ කරන්නට යන දේ විගසින් කරන්නැ” යි කී සේක. උන්වහන්සේ එසේ කීවේ මන්දැයි මේසයට හිඳ සිටි කිසිවකුත් දැන සිටියේ නැත. මුදල් පසුම්බිය බාර ව සිටියේ යූදස් බැවින්, මංගල්‍යය සඳහා යමක් මිලට ගැනීමට හෝ දිළිඳුන්ට යමක් දීමට හෝ යේසුස්වහන්සේ ඔහුට කියන්නට ඇතැයි සමහරු සිතූහ. රොටි කැබැල්ල ගත් විගස යූදස් පිටතට ගියේ ය. එය රාත්‍රිය විය. ඔහු ගිය පසු යේසුස්වහන්සේ කතා කොට, “දැන් මනුෂ්‍ය පුත්‍රයාණන් තේජසට පමුණු වන ලද්දේ ය; දෙවියන්වහන්සේ එතුමන් තුළ තේජසට පත් වූ සේක. එතුමන් තුළ දෙවියන්වහන්සේ තේජසට පැමිණි සේක් නම්, උන්වහන්සේ තමන් තුළ පුත්‍රයාණන් ද තේජසට පමුණු වන සේක; වහාම එතුමාණන් තේජසට පත් කරන සේක. “මගේ දරුවනි, තව ටික වේලාවක් මම ඔබ සමඟ සිටින්නෙමි. ඉන්පසු ඔබ මා සොයන නමුත්, මා යුදෙව්වරුන්ට කී ලෙස, දැන් ඔබටත් කියන්නේ, මා යන තැනට එන්නට ඔබට නුපුළුවන් බවයි. “අලුත් ආඥාවක් මම ඔබට දෙන්නෙමි. එකිනෙකාට ප්‍රේම කරන්න; මා ඔබට ප්‍රේම කළා සේ, ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. එකිනෙකාට ඔබ ප්‍රේම කරන්නේ නම් එයින් ම, ඔබ මගේ ගෝලයින් වග සියලු දෙනා දැනගනු ඇතැ” යි පැවසූ සේක.