යොහන් 12:23-33

යොහන් 12:23-33 SCV

යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “මනුෂ්‍ය පුත්‍රයාණන් මහිමයට පමුණු වන ලබන පැය පැමිණිලා. සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, තිරිඟු ඇටයක් පොළොවට වැටී නො මළොත්, එය තනි ඇටයක් ව පවතී. එහෙත් එය මළොත්, එය බොහෝ පල දරයි. තම ජීවිතයට ප්‍රේම කරන්නා, එය අහිමි කර ගනී. එහෙත් මෙලොවදී තම ජීවිතයට වෛර කරන්නා, සදාතන ජීවනයට එය රැක ගනී. යමෙක් මට සේවය කරන්නේ නම්, ඔහු මා අනුව ආ යුතුයි. මා කොතැනක ද, මගේ සේවකයා ද එතැන ම විය යුතු ය. යමෙක් මට සේවය කරනවා නම්, පියාණන්වහන්සේ ඔහුට ගෞරව කරන සේක. “දැන් මගේ සිත කැලඹිලා; මම කුමක් කියම් ද? ‘පියාණෙනි, මේ පැයෙන් මා මුදා ගන්නැ’ යි කියන්න ද? නැත; මේ පැයට මා පැමිණියේ මේ අරමුණින්මයි. පියාණන්වහන්ස, ඔබගේ නාමය තේජෝමහිමයට පැමිණෙවුව මැනව” යි පැවසූ සේක. එවිට, “මම එය තේජෝමහිමයට පැමිණ වීමි; යළිත් පමුණු වන්නෙමි” යි ස්වර්ගයෙන් කටහඬක් පැමිණියේ ය. ඒ ඇසූ එහි සිටි සමූහයා, “එය අහස් ගිගුරුමකැ” යි කී අතර, සෙසු අය පැවසුවේ, “දේව දූතයෙක් එතුමන්ට කතා කළා” කියා ය. යේසුස්වහන්සේ කතා කරමින්, “ඒ කටහඬ පැමිණියේ ඔබ උදෙසායි; මා උදෙසා නො වේ. ලෝකය විනිශ්චය දැනුයි. මේ ලෝකයේ අධිපතියා දැන් පිටත හෙළනු ලබයි. එහෙත් මා පොළොවෙන් ඔසවනු ලැබූ කල, මම සියලු මිනිසුන් මා වෙත ඇදගනිමි” යි පැවසූ සේක. උන්වහන්සේ එසේ කීවේ, තමන් විඳින්නට යන්නේ කෙබඳු මරණයක් දැයි හඟවනු පිණිස ය.