යොහන් 12:1-31

යොහන් 12:1-31 SCV

පාස්කු මංගල්‍යයට හය දවසකට කලින් යේසුස්වහන්සේ බෙතානියට පැමිණි සේක. යේසුස්වහන්සේ විසින් මළවුන්ගෙන් නැගිටුවන ලද ලාසරස් සිටියේ එහි ය. ඔවුහු උන්වහන්සේට භෝජන සංග්‍රහයක් පැවැත් වූහ. මාර්තා සත්කාර කිරීමෙහි නියැළුණු අතර, ලාසරස් උන්වහන්සේ සමඟ මේසයට වාඩි වූවන්ගෙන් කෙනකු විය. මරියා පිරිසිදු නාඩ්වලින්, ඉතා මිල අධික සුවඳ විලවුන් ලීටර බාගයක් ගෙනැවිත්, යේසුස්වහන්සේගේ දෙපාවල වත්කර, උන්වහන්සේගේ පා ඇගේ කෙස් වැටියෙන් පිස දැමුවා ය. මුළු නිවස විලවුන් සුවඳින් පිරුණේ ය. එවිට උන්වහන්සේගේ ගෝලයකු වූ යූදස් ඉස්කාරියොත් (උන්වහන්සේ පාවා දීමට සිටියේ ඔහු ය) කතා කොට, “මේ සුවඳ විලවුන් ඩිනාරි තුන්සියයකට විකුණා ඒ මුදල් දුප්පතුන්ට බෙදා නුදුන්නේ මන්දැ?” යි කීවේ ය. ඔහු එසේ කීවේ, දුප්පතුන් ගැන සැලකූ නිසා නො ව, ඔහු සොරකු නිසා ය. මුදල් පසුම්බිය බාර ව සිටි ඔහු එහි දමන ලද දෑ තමාට ම ගන්නට පුරුදු ව සිටියේ ය. යේසුස්වහන්සේ කතා කරමින්, “ඇයට කරදර කරන්න එපා; මගේ භූමදාන දවස දක්වා ඇය එය තබා ගත්තා වේ. දිළිඳුන් හැමදා ඔබ අතරේ ඉඳීවි. එහෙත් මා ඔබ අතරේ හැමදා සිටින්නේ නැතැ” යි පැවසූ සේක. ඒ අතර යේසුස්වහන්සේ එහි පැමිණ සිටිතැයි දැනගත් යුදෙව්වරු මහත් සමූහයක් උන්වහන්සේ නිසා පමණක් නො ව, උන්වහන්සේ මළවුන්ගෙන් නැගිට වූ ලාසරස් ද දකින පිණිස ආහ. එබැවින් ලාසරස් ද මරා දමන්නට නායක පූජකයෝ සැලසුම් කළහ. මන්ද ඔහු නිසා යුදෙව්වරුන් බොහෝ දෙනකු හැරී යමින්, යේසුස්වහන්සේ තුළ විශ්වාස කරන්නට වූ හෙයිනි. පසු දා, යේසුස්වහන්සේ යෙරුසලමට එන වග මංගල්‍යයට පැමිණ සිටි අති විශාල ජනකායට සැල විය. එවිට ඔවුහු තල් අතු ගෙන, උන්වහන්සේ පෙර මඟට ගොස්, “හෝසන්නා!” “ස්වාමින්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තාණන් ආශිර්වාදිත ය!” “ඉශ්‍රායෙල් රජ්ජුරුවන්ට ආශිර්වාදිත වේවා!” යි ඝෝෂා නගන්නට වූහ. යේසුස්වහන්සේ බූරු වස්සකු සම්භ ව, ඌ පිට නැගුණේ, “සියොන් දියණිය බය නො වන්න. මෙන්න, ඔබේ රජ, බූරු නාම්බකු පිට හිඳ එන්නේ යැ” යි ලියා තිබූ පරිදි ය. එකල්හි, උන්වහන්සේගේ ගෝලයෝ මෙය මුලින් වටහා නො ගත් නමුදු, පසුව යේසුස්වහන්සේ යළි මහිමයට පමුණු වන ලද පසු, උන්වහන්සේ ගැන මේ දෑ ලියවී තිබූ වග හා උන්වහන්සේට ඒ දෑ කළ වග ඔවුන්ට මතක් විය. යේසුස්වහන්සේ ලාසරස්ට සොහොනෙන් පිටතට හඬ ගසා, ඔහු මළවුන්ගෙන් නැගිටුවද්දී, උන්වහන්සේ සමඟ සිටි පිරිස දිගට ම ඒ ගැන සාක්ෂි දැරූහ. ජන සමූහයා උන්වහන්සේ හමුවට ගියේ, මෙම අනුහස් ලකුණ උන්වහන්සේ පෑ වග ඔවුන්ට සැල වූ නිසා ය. එබැවින්, ඔවුනොවුන් ඇමතූ පරිසිවරු, “පේනව ද අපට කිසි ජයක් නැති හැටි. බලන්න! මුළු ලෝකය ම ඔහු පස්සේ ගිහිල්ලා” යි කීහ. නමස්කාර කරන්නට මංගල්‍යයට පැමිණ සිටියවුන් අතර ග්‍රීකයෝ ඇතැම් දෙනෙක් ද වූහ. ඔවුහු ගලීල බෙත්සයිදාහි පිලිප් වෙත ගොස්, “මහත්මයා, යේසුස්වහන්සේ දකින්නට අප කැමති” යි කීහ. පිලිප් ගොස්, අන්දෘට කීවේ ය. අන්දෘ හා පිලිප් ගොස්, යේසුස්වහන්සේට ඒ වග කීහ. යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “මනුෂ්‍ය පුත්‍රයාණන් මහිමයට පමුණු වන ලබන පැය පැමිණිලා. සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, තිරිඟු ඇටයක් පොළොවට වැටී නො මළොත්, එය තනි ඇටයක් ව පවතී. එහෙත් එය මළොත්, එය බොහෝ පල දරයි. තම ජීවිතයට ප්‍රේම කරන්නා, එය අහිමි කර ගනී. එහෙත් මෙලොවදී තම ජීවිතයට වෛර කරන්නා, සදාතන ජීවනයට එය රැක ගනී. යමෙක් මට සේවය කරන්නේ නම්, ඔහු මා අනුව ආ යුතුයි. මා කොතැනක ද, මගේ සේවකයා ද එතැන ම විය යුතු ය. යමෙක් මට සේවය කරනවා නම්, පියාණන්වහන්සේ ඔහුට ගෞරව කරන සේක. “දැන් මගේ සිත කැලඹිලා; මම කුමක් කියම් ද? ‘පියාණෙනි, මේ පැයෙන් මා මුදා ගන්නැ’ යි කියන්න ද? නැත; මේ පැයට මා පැමිණියේ මේ අරමුණින්මයි. පියාණන්වහන්ස, ඔබගේ නාමය තේජෝමහිමයට පැමිණෙවුව මැනව” යි පැවසූ සේක. එවිට, “මම එය තේජෝමහිමයට පැමිණ වීමි; යළිත් පමුණු වන්නෙමි” යි ස්වර්ගයෙන් කටහඬක් පැමිණියේ ය. ඒ ඇසූ එහි සිටි සමූහයා, “එය අහස් ගිගුරුමකැ” යි කී අතර, සෙසු අය පැවසුවේ, “දේව දූතයෙක් එතුමන්ට කතා කළා” කියා ය. යේසුස්වහන්සේ කතා කරමින්, “ඒ කටහඬ පැමිණියේ ඔබ උදෙසායි; මා උදෙසා නො වේ. ලෝකය විනිශ්චය දැනුයි. මේ ලෝකයේ අධිපතියා දැන් පිටත හෙළනු ලබයි.