යොහන් 11:41-45
යොහන් 11:41-45 SCV
එවිට ඔවුහු ගල ඉවත් කළහ. යේසුස්වහන්සේ ඇස් ඔසවා බලා, “පියාණෙනි, ඔබවහන්සේ මට සවන් දුන් නිසා මා ඔබට ස්තුති කරනවා. හැම විට ඔබ මට සවන් දෙන වග මා දැන සිටියා. එනමුත් මා මෙසේ කීවේ, මා එවුවේ ඔබවහන්සේ ම වග මෙහි වටේට සිටගෙන සිටින ජනයා විශ්වාස කරන පිණිස ඔවුන් උදෙසා යැ” යි පැවසූ සේක. උන්වහන්සේ එසේ පවසා, “ලාසරස්! පිටතට එනු” යි උස් හඬින් හඬ ගැසූ සේක. මැරී සිටි මිනිසා පිටතට ආවේ ය. ඔහුගේ අත්, පා හණ රෙදි පටිවලින් වෙළා තිබුණු අතර, මුහුණ රෙදි කඩකින් ඔතා තිබිණි. “ඔය බැමි මුදා ඔහු යන්න හරින්නැ” යි යේසුස්වහන්සේ ඔවුන්ට කී සේක. මරියා සමඟ පැමිණ සිටි යුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක් උන්වහන්සේ කළ දේ දැක, උන්වහන්සේ තුළ විශ්වාස කළහ.


