යොහන් 11:33-45

යොහන් 11:33-45 SCV

ඇය හඬනු දුටු, ඇය හා පැමිණි යුදෙව්වරුන් ද හඬනු දුටු යේසුස්වහන්සේ තම ආත්මයෙන් දැඩි ව සසල වී, බෙහෙවින් කැලඹී, “ඔහු තැන්පත් කළේ කොතැනක දැ?” යි ඇසූ සේක. “එන්න, ඇවිත් බලන්න ස්වාමිනි” යි ඔවුහු උන්වහන්සේට කීවෝ ය. යේසුස්වහන්සේ හැඬූ සේක. එවිට යුදෙව්වරු, “මෙතුමා ඔහුට ප්‍රේම කළ තරම පෙනේ දැ!” යි කීවෝ ය. එහෙත් ඔවුන්ගෙන් ඇතමෙක්, “අන්ධ මිනිසාගේ ඇස් පෑදූ මෙතුමාණන්ට, මොහු මරණින් නවතාගන්න බැරි වුණා නො වේ දැ?” යි කීහ. යේසුස්වහන්සේ නැවතත් දැඩි සේ සසල ව, සොහොන අසලට පැමිණි සේක. එය, ගලකින් එහි පිවිසුම ආවරණ කර තිබූ ලෙනකි. “ඔය ගල ඉවත් කරන්නැ” යි යේසුස්වහන්සේ පැවසූ සේක. එවිට, මළ තැනැත්තාගේ සහෝදරිය වූ මාර්තා, “ස්වාමිනි, මේ වන විට එහි දුගඳක් තියේවි. මන්ද දැන් දවස් හතරක් ගතවෙලා යැ” යි කීවා ය. යේසුස්වහන්සේ ඇය අමතා, “ඔබ විශ්වාස කරන්නේ නම්, දෙවියන්වහන්සේගේ මහිමය ඔබ දකින වග මා ඔබට කීවා නො වේ දැ?” යි කී සේක. එවිට ඔවුහු ගල ඉවත් කළහ. යේසුස්වහන්සේ ඇස් ඔසවා බලා, “පියාණෙනි, ඔබවහන්සේ මට සවන් දුන් නිසා මා ඔබට ස්තුති කරනවා. හැම විට ඔබ මට සවන් දෙන වග මා දැන සිටියා. එනමුත් මා මෙසේ කීවේ, මා එවුවේ ඔබවහන්සේ ම වග මෙහි වටේට සිටගෙන සිටින ජනයා විශ්වාස කරන පිණිස ඔවුන් උදෙසා යැ” යි පැවසූ සේක. උන්වහන්සේ එසේ පවසා, “ලාසරස්! පිටතට එනු” යි උස් හඬින් හඬ ගැසූ සේක. මැරී සිටි මිනිසා පිටතට ආවේ ය. ඔහුගේ අත්, පා හණ රෙදි පටිවලින් වෙළා තිබුණු අතර, මුහුණ රෙදි කඩකින් ඔතා තිබිණි. “ඔය බැමි මුදා ඔහු යන්න හරින්නැ” යි යේසුස්වහන්සේ ඔවුන්ට කී සේක. මරියා සමඟ පැමිණ සිටි යුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක් උන්වහන්සේ කළ දේ දැක, උන්වහන්සේ තුළ විශ්වාස කළහ.