යොහන් 11:21-31
යොහන් 11:21-31 SCV
මාර්තා යේසුස්වහන්සේ අමතමින්, “ස්වාමිනි, ඔබතුමා මෙහි සිටියා නම්, මගේ සහෝදරයා නො මැරෙන්න තිබුණා. දැන් වුවත් ඔබතුමා දෙවියන්වහන්සේගෙන් කවර දෙයක් ඉල්ලුවත්, දෙවියන්වහන්සේ එය ඔබට දෙන වග මා දන්නවා” යි කීවා ය. “ඔබේ සහෝදරයා යළි නැගිටිනු ඇතැ” යි යේසුස්වහන්සේ ඇයට පැවසූ සේක. “අවසාන දවසේ නැවත නැගිටීමේදී ඔහු නැවත නැගිටින වග මා දන්නවා” යි මාර්තා උත්තර දුන්නා ය. යේසුස්වහන්සේ ඇය අමතමින්, “මරණින් නැගිටීමත්, ජීවනයත් මම ය. මා තුළ විශ්වාස කරන්නා මැරුණත් ජීවත් වන්නේ ය. මා තුළ විශ්වාසය තබන, ජීවත් ව සිටින හැම කෙනෙක් කිසි දා නො මැරෙයි. ඔබ මෙය විශ්වාස කරනවා දැ?” යි ඇසූ සේක. ඈ පිළිතුරු දෙමින්, “එහෙමයි ස්වාමිනි, ඔබවහන්සේ ක්රිස්තුස්වහන්සේ වග, දෙවියන්වහන්සේගේ පුත්රයාණන් වූ ලෝකයට එන්නට සිටි තැනැත්තාණන් වග මම විශ්වාස කරමි” යි කීවා ය. මෙසේ පැවසූ පසු ඈ ආපසු ගොස්, තම සොහොයුරිය වන මරියා පසෙකට කැඳවා, “ගුරු හිමියන් ඇවිත් ඉන්නවා; එතුමා ඔබට කතා කරනවා” යි රහසින් කීවා ය. ඒ ඇසූ ඈ, වහා නැගිට, උන්වහන්සේ හමුවට ගියා ය. ඒ වන තෙක් ම, ගමට ඇතුළු නො වූ යේසුස්වහන්සේ, මාර්තා හමු වූ ස්ථානයේ ම නැවතී සිටි සේක. මරියා අස්වසමින් නිවසේ සිටි යුදෙව්වරු, හදිසියේ ම ඇය නැගිට පිටතට යනු දැක, ඇය වැලපෙන්නට සොහොන වෙත යතැයි සිතා ඇය පසුපසින් ගියහ.


