යොහන් 11:1-11

යොහන් 11:1-11 SCV

එක්තරා මනුෂ්‍යයෙක් රෝගී ව සිටියේ ය. ඔහු, මරියාගේ හා ඇගේ සහෝදරිය වන මාර්තාගේ ගම වූ බෙතානියේ ලාසරස් ය. සුවඳ විලවුන්වලින් ස්වාමින්වහන්සේ ආලේප කර, තම හිසකෙසින් උන්වහන්සේගේ පා පිස දැමූ තැනැත්තිය මේ මරියා ය. රෝගී ව සිටි ලාසරස් ඇගේ සහෝදරයා ය. එබැවින් සහෝදරියෝ, “ස්වාමිනි, ඔබ ප්‍රේම කරන තැනැත්තා රෝගී ව සිටිතැ” යි යේසුස්වහන්සේට දන්වා යැවූහ. යේසුස්වහන්සේ ඒ ඇසූ කල, “මේ රෝගයේ කෙළවර මරණය නො වෙයි. එමඟින් දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් මහිමයට පමුණු වන පිණිස, දෙවියන්වහන්සේගේ තේජෝ මහිමය සඳහා යැ” යි පැවසූ සේක. යේසුස්වහන්සේ මාර්තාට ද ඇගේ සහෝදරියට ද ලාසරස්ට ද ප්‍රේම කළ සේක. එබැවින් ලාසරස් රෝගී ව සිටින වග ඇසූ කල, උන්වහන්සේ සිටි ස්ථානයේ තව දින දෙකක් නැවතී සිටි සේක. අනතුරුව සිය ගෝලයින් ඇමතූ උන්වහන්සේ, “අපි ආයෙත් යුදයට යමු” යි කී සේක. එවිට ගෝලයෝ උන්වහන්සේ අමතමින්, “රබ්බී, මේ ළඟදී යුදෙව්වරුන් ඔබට ගල් ගසන්නට සෙව්වා; ආයෙත් ඔබ එහි යනවා දැ?” යි ඇසූහ. යේසුස්වහන්සේ උත්තර දෙමින්, “දහවලට දොළොස් පැයක් තියෙනවා නො වේ ද? කෙනෙක් දහවලේ ඇවිදිනවා නම් ඔහු පැකිළෙන්නේ නැත. මන්ද ඔහුට ලෝකයේ එළිය පෙනේ. එහෙත් ඔහු ඇවිදින්නේ රාත්‍රියේ නම් ඔහු පැකිළෙයි; මන්ද ඔහු තුළ එළියක් නැතැ” යි කී සේක. එසේ පැවසූ උන්වහන්සේ යළි කතා කරමින්, “අපේ මිත්‍ර ලාසරස් සැතපිලා. මා යන්නේ ඔහු පුබුදුවන්නට යැ” යි කී සේක.