යොහන් 10:7-15
යොහන් 10:7-15 SCV
යේසුස්වහන්සේ යළි ඔවුන් අමතමින්, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ මෙයයි; බැටළුවන්ට දොරටුව මමයි. මට කලින් ආ සියල්ලෝ සොරු හා මංකොල්ලකරුවොයි. එහෙත් බැටළුවන් ඔවුන්ට ඇහුම්කන් දුන්නේ නැත. දොරටුව මමයි. යමෙක් මා තුළින් ඇතුළු වේ නම්, ඔහුට ගැලවීම ලැබෙයි; ඔහු ඇතුළට එයි; පිටතටත් යයි; ඔහුට තණ බිම් හමු වෙයි. සොරා එන්නේ සොරකම් කරන්නටත්, මරන්නටත්, විනාශ කරන්නටත් පමණයි. එනමුත් මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසයි; එය අධික ව ම ලැබෙන පිණිසයි. “යහපත් බැටළු එඬේරා මමයි. යහපත් එඬේරා බැටළුවන් උදෙසා තම ජීවිතය පුදයි. එහෙත් බැටළුවන් අයිතිකරු නො වන කුලීකරුවා එඬේරා නො වේ. වෘකයා එනවා දුටුවොත්, ඔහු බැටළුවන් හැර දමා පැන දුවයි. එවිට වෘකයා බැටළුවන් ඩැහැගෙන, උන් විසුරුවා දමයි. ඔහු පැන දුවන්නේ, ඔහු කුලීකරුවකු බැවින්, බැටළුවන් ගැන කිසි තැකීමක් ඔහුට නැති නිසයි. “යහපත් එඬේරා මමයි; මගේ ම උන් මම හඳුනමි; මගේ ම බැටළුවෝ ද මා හඳුනති. එය හරියට පියාණන්වහන්සේ මා හඳුනන පරිදි ය; මා පියාණන්වහන්සේ හඳුනන පරිදි ය. මගේ බැටළුවන් උදෙසා මම මගේ ජීවිතය පුදමි.



