යොහන් 1:31-51

යොහන් 1:31-51 SCV

මා මෙතුමාණන් හැඳින සිටියේ නැහැ. එහෙත් මා මෙසේ වතුරින් බව්තීස්ම කරමින් ආවේ, ඉශ්‍රායෙල් ජනයාට මෙතුමාණන් එළිදරවු කිරීමට යැ” යි පැවසී ය. යොහන් සිය සාක්ෂිය දක්වමින්, “ආත්මයාණන් ස්වර්ගයේ සිට පරෙවියකු ලෙස බැස ඇවිත්, මෙතුමාණන් මත රැඳී සිටිනවා මා දැක්කා. මා මෙතුමාණන් හැඳින සිටියේ නැති නමුත්, වතුරින් බව්තීස්ම කරන්නට මා එවූ තැනැන්වහන්සේ මා අමතා, ‘ආත්මයාණන් බැස අවුත්, යමකු මත රැඳී සිටිනවා ඔබ දකින්නේ ද, ශුද්ධාත්මයාණන්ගෙන් බව්තීස්ම කරන තැනැත්තා එතුමාණන් යැ’ යි කී සේක. මා දැන් එය දුටු නිසා, මෙතුමාණන් දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් බවට සාක්ෂි දරමි” යි පැවසී ය. පසු දින යළිත්, තම ගෝලයින් දෙදෙනකු සමඟ සිටි යොහන්, යේසුස්වහන්සේ ගමන් කරනු දැක, “අන්න! දෙවියන්වහන්සේගේ බැටළු පැටවාණෝ” යි කීවේ ය. ඔහු එසේ පවසනු ඇසූ ගෝලයෝ දෙදෙන යේසුස්වහන්සේ පස්සේ ගියහ. යේසුස්වහන්සේ හැරී, ඔවුන් තමන් පසු පස එනු දැක, “මොනවද ඔබ සොයන්නේ?” යි ඇසූ සේක. “රබ්බී, ඔබ සිටින්නේ කොහේ දැ?” යි ඔවුහු ඇසූහ. (රබ්බී යන්නෙහි අර්ථය ගුරුතුමනි යනුයි.) “එන්න, ඇවිත් බලන්නැ” යි උන්වහන්සේ කී සේක. එසේ ගිය ඔවුහු, උන්වහන්සේ වෙසෙන තැන දැක, එදින උන්වහන්සේ සමඟ ගත කළහ. එවිට වෙලාව දස වන පැය පමණ විය. යොහන් කී දේ අසා, උන්වහන්සේ පසු පස ගිය දෙදෙනාගෙන් කෙනකු වූයේ සීමොන් පේතෘස්ගේ සහෝදර අන්දෘ ය. පළමු කොට අන්දෘ කළේ, තම සහෝදර සීමොන් සොයා ගොස්, “අපට මෙසියස්වහන්සේ හමු වුණා” යි කීම ය. (මෙසියස්වහන්සේ යනු ක්‍රිස්තුස්වහන්සේ ය). ඔහු යේසුස්වහන්සේ වෙත සීමොන් කැඳවාගෙන ආවේ ය. යේසුස්වහන්සේ ඔහු දෙස බලා, “ඔබ යොහන්ගේ පුත්‍ර සීමොන් ය. ඔබ කේපස් නමින් හඳුන්වනු ලබන්නේ යැ” යි කී සේක. (එහි අර්ථය පේතෘස් ය). පසු දා යේසුස්වහන්සේ ගලීලයට යෑමට තීරණය කළ සේක. උන්වහන්සේට පිලිප් හමු වී, “මා සමඟ එන්නැ” යි ඔහු කැඳවූ සේක. පිලිප්, පේතෘස් හා අන්දෘ මෙන් බෙත්සයිදා නගර වැසියෙකි. පිලිප්, නතානියෙල් හමු වී, “මෝසෙස් ව්‍යවස්ථාවේ ද දිවැසිවරුන් විසින් ද සඳහන් කළ තැනැත්තා අපට හමු වුණා; ඔහු යෝසෙප්ගේ පුත්‍ර නාසරෙත්හි යේසුස්වහන්සේ” යි කීවේ ය. “නාසරෙත්!” යයි කී නතානියෙල්, “කිසි හොඳක් එහෙන් ඒ දැ?” යි ඇසී ය. “ඇවිත් බලන්නැ” යි පිලිප් කීවේ ය. නතානියෙල් තමන් වෙත ළඟා වනු දුටු යේසුස්වහන්සේ ඔහු අමතා, “මෙන්න! තමා තුළ හොර බොරු නැති නියම ඉශ්‍රායෙල්වරයෙක්” යැයි කී සේක. “ඔබතුමා මා ගැන දන්නේ කොහොම දැ?” යි නතානියෙල් ඇසී ය. “පිලිප් ඔබට කතා කරන්නට කලින් ඔබ අත්තික්කා ගහ යට සිටිනු මා දුටුවා” යි යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දුන් සේක. එවිට නතානියෙල්, “රබ්බී, ඔබතුමා දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝ ය; ඉශ්‍රායෙල්ගේ රජ්ජුරුවෝ යැ” යි පැවසී ය. යේසුස්වහන්සේ ඔහු අමතමින්, “අත්තික්කා ගහ යටදී මා ඔබ දුටුවා කීමෙන්, ඔබ විශ්වාස කරනවා ද? මීට වඩා මහත් දේවල් ඔබ දකිනු ඇත; සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, ස්වර්ගය විවර ව, දෙවියන්වහන්සේගේ දූතයින් මනුෂ්‍ය පුත්‍රයාණන් වෙත නගිනවාත්, බසිනවාත් ඔබ දකිනු ඇතැ” යි පැවසූ සේක.